monkey-pox-sri-lanka

ශ්‍රී ලංකාවෙන් දෙවන මංකිෆොක්ස් (වඳුරු උණ) රෝගියෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) තහවුරු කළේය.
මෙම රෝගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවත් රෝගියා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.රෝගියා පෙරේදා ඩුබායි සිට පැමිණි අයෙකි.

රෝගියා ගැන අනාවරණය වීමෙන් පසුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන ශ්‍රී ලංකාව තුළ වඳුරු රෝගය පැතිරීම පිළිබඳ ජනතාව බිය විය යුතු නැති බව පවසා ඇත.



එවැනි ආසාදන හඳුනා ගැනීම සඳහා දැනට රට තුළ හොඳින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය ප්‍රොටෝකෝල පවතින බව සඳහන් කළ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තත්ත්වය පාලනය කර ඇති බවට සහතික විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ ආසාධිතයා 20 හැවිරිදි පුද්ගලයකු ලෙස හඳුනාගනු ලැබුවේ නොවැම්බර් 04 වැනි සිකුරාදාය.

වඳුරු රෝග ලක්ෂණ අතර සම මතුපිට කසනසුළු රතු පැහැ ලප මූලිකව හඳුනා ගැනේ ඒ සමග උණ, ඉදිමුණු වසා ගැටිති, නිතර අසාමාන්‍ය වෙහෙසට පත්වීම, මාංශ පේශි කැක්කුම සහ පිටුපස වේදනාව, හිසරදය මෙන්ම සාමාන්‍ය ශ්වසන රෝග ලක්ෂණ (උදා: උගුරේ අමාරුව, නාසික තදබදය හෝ කැස්ස) ඇතිවේ.
 කැසීම ආරම්භ වන විට පැතලි ලප  ගැටිති බවට පත් වන අතර පසුව එය තරලයෙන් පුරවනු ලැබේ. සමහර අයට වෙනත් රෝග ලක්ෂණ ඇතිවීමට පෙර කුරුලෑ හෝ බිබිලි වැනි ලපද වර්ධනය වේ. ගැටිති සුව වන විට කබොල කඩා වැටේ. කැසීම වේදනාකාරී  විය හැක.

සාමාන්‍යයෙන්, සති 2 සිට 4 දක්වා කාලය තුළ සුවයක් ඇතිවේ. නමුත් සමහර විට වෛරසය බලපෑම අනුව පුද්ගලයෙකු දරුණු අසනීප තත්වයන්ට ලක්විය හැකිය.

වඳුරු වයිරසය ආසාදිත පුද්ගලයන් හෝ සතුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් පැතිර යා හැක.
යමෙකුට ආසාදනය විය හැක්කේ: රුධිරය, ශරීර තරල (ලිංගික සම්බන්ධතා වලදී වැනි) හෝ බිබිලි වලින් ඇති වන තරල සමඟ සම්බන්ධ වීමෙන්, ඇඳ ඇතිරිලි හෝ වෛරසයෙන් දූෂිත වෙනත් අයිතම භාවිතා කිරීමෙනි.
රෝග ලක්ෂණ ආරම්භ වීමට නිරාවරණය වීමෙන් පසු දින 5 සිට 21 දක්වා ගත විය හැකිය.

කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ දරුණු දද ඇති පුද්ගලයින් වඳුරු උණ රෝගයට ගොදුරු වුවහොත් දැඩි ලෙස රෝගාතුර වීමේ අවදානම වැඩිය.