money-waste

ගිං - නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරමේ ව්‍යාපෘතිය ඇතුළු  ව්‍යාපෘති හතරක් සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය පසුගිය වසර 14ක කාලයේ දී රුපියල් කෝටි නව දහස් විසි නවයකට වැඩි මුදලක් වැය කර ඇතත් එම මුදලින් ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම ව්‍යාපෘති හතර සැලසුම් කළ කාලය මෙන් දෙගුණයකටත් වැඩි කාලයක් ගත වී තිබුණ ද නිම කර නොතිබූ බව ද එම වාර්තාවේ දැක්වේ. මෙසේ නිම කර නැති අනෙක් ව්‍යාපෘති දෙක වන්නේ තල්පිටිගල ජලාශය (ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් කෝටි 15391 කි) සහ ඵලදායීතා ප්‍රවර්ධන සහ වාරිමාර්ග පද්ධති කාර්යක්ෂමතා කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියයි.

එසේම එම ව්‍යාපෘති අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමේ දී මූලික අරමුණු යටතේ හඳුනාගෙන තිබූ ආර්ථික වාසි සැලසුම් සහගත පරිදි ලබා ගැනීමට නොහැකි වී තිබුණු බව ද එහි සඳහන් වෙයි. මේ අතර ලෝක බැංකු ආධාර යටතේ වාරිමාර්ග අමාත්‍යාංශය 2014 සිට 2021 දක්වා ක්‍රියාත්මක කළ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය 2021 වර්ෂය තුළ අවසන් කර ඇති නමුත්, එකී ප්‍රතිපාදන යටතේ 2015, 2019 වර්ෂය තුළ ක්‍රියාත්මක කර තිබූ කොන්ත්‍රාත් පැකේජ 15ක් සඳහා රුපියල් කෝටි නවයක් වැය කළ ද එය වැඩ අවසන් කිරීමකින් තොරව අතරමග නවතා තිබූ බව විගණන අංශ පවසයි.  ඒ අනුව එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකිවී තිබුණු බව වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ වාරිමාර්ග අමාත්‍යංශයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණි.

(සුජිත් හේවාජුලිගේ)