
වකුගඩු විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට පැවසෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිසිය පරීක්ෂණගැනීමට පවත්වාගෙන යයි. කාන්තාවක සහ පුද්ගලයන් හතර දෙනකු බොරැල්ල පොලීසියට පෙරේදා (23) කළ පැමිණිලි අනුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරන ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී මෙම පස් දෙනාට සැත්කම් කර වකුගඩුව බැගින් ලබාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. වකුගඩු රෝගීන්ට බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක මුදලකට විකිණීමට මොවුන්ගෙන් වකුගඩු ලබාගෙන ඇතැයිද පොලීසිය කියයි.
කොළඹ ප්‍රදේශයේ සහ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ තවත් පුද්ගලයන් හතර දෙනකු මෙම පැමිණිලි කර ඇත. පැමිණිලිකාර පුද්ගලයන්ගෙන් දෙදෙනකු වෑල්ඩින් වැඩ කර ජීවිකාව ගෙන යන අතර තවත් අයකු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බව පොලිසිය කීය. පැමිණිලිකාර තවත් පුද්ගලයකු පෞද්ගලික පිරිසුදු කිරීමේ ආයතනයක සේවය කර ඇති අතර කාන්තාව රැකියාවක් නොකරන තැනැත්තියක් යැයි පොලිසිය සඳහන් කරයි.
සැත්කම් මගින් ඔවුන්ගෙන් වකුගඩු ලබාගත්තේ යැයි කියන පෞද්ගලික රෝහල සමග මින් ඉදිරියට සම්බන්ධතා නොපවත්වන බවට පොලිස් නිලධාරියා ලේඛන කිහිපයකට ද අත්සන් ලබාගෙන ඇතැයි පැමිණිලිකාරිය සහ පැමිණිලිකරුවන් පවසන්නේ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. රෝහලින් ලබාදුන් බව කියමින් වෛද්‍ය වාර්තා ද පැමිණිලිකාරිය සහ පැමිණිලිකරුවන් ද පොලිසියට භාර දී ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම වකුගඩු ජාවාරම සිදුකරගෙන යෑමට ආධාර අනුබල දී ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval