human-trafficing-nabbed

කාන්තාවන් ඩුබායි, ඕමානය සහ අබුඩාබිය යන රාජ්‍යයන් වෙත සංචාරක වීසාමත රැගෙන ගොස් එරට ධන කුවේරයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ ගණනින් අලෙවි කරමින් මිනිස් ජාවාරමේ නිරත වූ බව කියන ප්‍රධාන ජාවාරම්කරුවෙක් සහ ඔහුගේ ජාවාරම්වල දේශීය නියෝජිතයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටිති. ප්‍රධාන සැකකරු කටුනායක ගුවන්තොටු පොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුගේ තැරැව්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් කොළඹදී පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රධාන සැකකරු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆෝම් නමැත්තා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති අතර අනෙක් සැකකරු වන බාලක්‍රිස්නන් කුගනේෂ්වරන් නමැත්තා ලබන මස 1 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇත.

ප්‍රධාන සැකකරු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆෝම් (44) නමැත්තා දෙහිවල පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඩුබායි සිට පෙරේදා (19) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ සිටිය දී පෙරේදා අලුයම අත්අඩංගුවට ගෙන ඇත.  ඔහු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් වෙත බාර දෙනු ලැබීමෙන් අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රිමාල් අමරසිංහ මහතා වෙත පෙරේදා පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ ආගමන විගමන බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු ජනාධිපති ලේකම් කාර්යාලයේ තුන්වැනි ලේකම්වරයා වශයෙන් පෙනී සිටිමින් මෙම මිනිස් ජාවාරම මෙහෙයවා ඇති බවත්, ඔහු විවාහ දෙකක් කරගෙන ජාවාරමෙන් උපයාගන්නා මුදල්වලින් දෙහිවල පල්ලිය පාරේ සහ වත්තල ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවාස දෙකක සුඛෝපභෝගි දිවි ගෙවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. මේ අතර සැකකරු සම්බන්ධයෙන් හෙළි වූ තොරතුරු අනුව කාර්යාංශයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙම නිවාස දෙක වෙත ගිය ද ඔහු ඒ වන විට විදෙස් ගත වී සිටි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා පැවසීය.

ඔහු බලපත්‍ර නොමැතිව මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවට ඔහු දිවයින පුරා පවත්වාගෙන යන තවත් රැකියා නියෝජිත ආයතන කිහිපයක් එක්ව සංචාරක වීසා මත කාන්තාවන් සහ ළාබාල තරුණියන් ඕමානය, අබුඩාබි ඇතුළු රටවල්වලට අලෙවි කර මිනිස් ජාවාරම සිදුකර ඇති බවටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය තොරතුරු හෙළි කරගෙන ඇත. ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි 8 ක් අනුව මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් ඔහු මෙරටට පැමිණි පළමු අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග කියයි.



සංචාරක වීසා මගින් ඩුබායි, අබුඩාබී රැගෙන එන ඇතැම් කාන්තාවන් හා තරුණියන් බස්රථවල නංවා එම රටවල දේශ සීමා තරණය කරමින් ඕමානය වෙත ගෙන්වා ගෙන එහිදී රුපියල් ලක්ෂ 10ත් ලක්ෂ 20ත් අතර මුදලකට ගණිකා සේවය සඳහා අලෙවි කරන බවට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තොරතුරු හෙළි කරගෙන ඇත.ඔහු විදේශ ගතකළ කාන්තාවන් නැවත ගෙන්වා දෙන ලෙසට භාරකරුවන් ඉල්ලා සිටි අවස්ථාවේ ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් හා ලිංගික අල්ලස් ඉල්ලා ඇති බවට ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී තිබේ. කාන්තාවන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මැදපෙරදිග රටවල් කිහිපයක තානාපති කාර්යාල මගින් ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී ඇති බව එම කාර්යාංශය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාස අධ්‍යක්වරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ද මීට පෙර ඕමානය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබිණි.  මෙම මිනිස් ජාවාරමට ලක් වූ කාන්තාවන් රැසක් අබුඩාබි, ඕමානය, ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට අනුබද්ධ රැඳවුම් මධ්‍යස්ථානවල රදවා සිටින බවට කාර්යාංශ ආරංචි මාර්ග පවසයි. ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව තවත් පැමිණිලි රාශියක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද කාර්යාංශ ආරංචි මාර්ග කියයි.

මේ අතර ප්‍රධාන සැකකරුට මේ සඳහා ආධාර අනුබල ලබා දෙමින් ඔහුගේ මෙරට නියෝජිතයකු (තරැව්කරුවකු) වශයෙන් කටයුතු කළ අනෙක් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාස අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ අධීක්ෂණයට යටතේ විශේෂ කණ්ඩායමක් යොදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු සමග මෙරටට පැමිණි කාන්තාවන් 19 දෙනකු මීගමුව අධිකරණයට අනවසරයෙන් පැමිණ ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු නිර්දෝෂි බවටත් ඔහුගේ වියදමින් ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණි බවටත් පවසා ඇත.



ඔවුන් අනවසරයෙ‍ෙයන් අධිකරණය හමුවට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම කාන්තාවන් පිරිස අධිකරණ භූමියෙන් ඉවත්කරන ලෙසට පොලිසියට නියෝග කර ඇත. සැකකරු ඕමානයේ රැකියා ලබාදෙන බව කියා කාන්තාවන් සිව්දෙනකු සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍ය වෙත රැගෙන ගොස් ඇති බවත්, එහිදී කාන්තාවන් ඕමානයට නොයවා බලහත් කාරයෙන් එහි ඒජන්සිකරුවන් හරහා අබුඩාබි රටේ රැකියා සඳහා යොමුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එරටේ අතරමං වූ කාන්තාවන් ඔවුන්ගෙන් ලංකාවට පැමිණ සිද්ධිය පොලිසියට සහ අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය.
ටී.කේ.ජී. කපිල