english-grade1

 තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේ දී මව්බසට අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පවසයි. තව ද  එසේ නොවීමෙන් වේගයෙන් ඉදිරියට යන සමාජය තුළ පන්ති පරතරය වඩාත් පුළුල් වී අනාගත රැකියා ලෝකය එක්තරා පිරිසකට පමණක් සිමා වීම නොවැළැක්විය හැකි බවත් එවිට  මංමාවත් පුරා නිමක් නොමැති අරගල මතුවීම සාමාන්‍ය සංසිද්ධියක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
 අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිත අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහනේ සමාරම්භයට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක් වෙමිණි.



දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ මේ සඳහා තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල  ප්‍රාථමික අංශයේ පළමු පංතියට උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සිදු කරනු ලැබේ. පළාත්‍බඳව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණුකිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව  භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ ඉතා සැලසුම් සහගත ව මෙරටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දුන්න ද එහි ක්‍රමික විකසනයක් දක්නට නොලැබීම ප්‍රධාන ගැටලුවක් බවයි. අද වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් අපට සමාන රටවල් පවා අධ්‍යාපනයෙන් ඉදිරියට ගොස් සිටින අතර දීර්ඝ කාලීන ක්‍රමික වර්ධනයත් සමඟ ෆින්ලන්තය වැනි රටවල් වඩාත් ඉදිරියට ගොස් මනා සිසු-ගුරු-දෙගුරු සහයෝගීතාවක් පවත්වා ගනිමින්, ගුරුවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින්, විභාග බර අඩු අඛණ්ඩ ඇගයිම් ක්‍රමයට කුසලතා මැන බැලෙන සාධනීය අධ්‍යාපනයක් පවත්වාගෙන යන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. එවැනි පරිවර්තනීය වෙනසකට අප ගමන් කළ යුතු වන්නේ කොවිඩ් ව්‍යසනයේ පසුබෑමත් සමඟ විවිධ පර්යේෂණ, සමීක්ෂණ සිදු කරමින් මත්ද්‍රව්‍ය වැනි කාලීන ව්‍යසන ජයගනිමින් අණපනත් සංශෝධනය කරමින් විෂයසමගාමී ක්‍රියාකාරකම් වෘත්තීය මාර්ගෝපදේශන, දිවා අහාර වැඩසටහන් වැනි කටයුතු අතර සමබර ඉදිරි ගමනක් සමඟින් බව හෙතෙම පැවසී ය. මේ සියලු කාර්යන් සඳහා ජාත්‍යන්තර සන්නිවේදන කුසලතා වර්ධනයට ඉවහල් වන ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධනය ප්‍රමුඛ කාර්යයක් සේ සලකන බව ද ඔහු පැවසී ය.

සෑම වෘත්තියක ම රඳාපැවැත්ම පවතින්නේ යාවත්කාලීනවීම මත බවත් අමාත්‍යවරයා සදහන් කළේ ය. ඒ අනුව ඉදිරියේ දී 5 ශ්‍රේණියට එන විට දරුවන්ට චකිතයකින් තොර ව ඉංග්‍රීසි බසින් සන්නිවේදනයේ යෙදීමේ පුහුණුව ලැබෙන බවත් සමාජය තුළ ද අනවශ්‍ය වියරණ, උච්චාරණ, රීති, මතවාද ඉවත ලා සන්නිවේදනයට මූලිකත්වය දීමට අවධානය යොමු විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. තවද 2023 වසරේ පළමු වාරයේ සිට ම පළමු ශ්‍රේණියේ ළමුන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් ව භාවිතයට ගැනීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්. යූ. ප්‍රේමතිලක, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න, ඉංග්‍රීසි හා විදේශ භාෂා ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂ නිමාලි අනූෂා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහභාගි වී සිටියහ.