emirates-flights-sri-lanka

ශ්‍රී ලංකාවට සංචාර සඳහා ඉල්ලුම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01දා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර, ඒ සමග මෙම ගමනාන්ත දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට සෘජු ගුවන් ගමන් දෙකක් සහ මාලදිවයිනේ අගනුවර වන මාලේ හරහා ක්‍රියාත්මක කරන එක් ගුවන් ගමනක් අයත් වන බව සමාගම සඳහන් කරයි. දෙසැම්බර් 16දා සිට 30දා දක්වා කාලයේ හැර අනිකුත් දිනවලදී මෙම අමතර දෛනික ගුවන් ගමන් ඩුබායි සහ කොළඹ අතර සෘජුව ක්‍රියාත්මක කරන අතර, දෙසැම්බර් 16දා සිට 30දා දක්වා කාලය තුළ මෙම සේවය මාලේ හරහා කොළඹට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පෙන්වා දෙයි. එමිරේට්ස් සමාගම 1986 වසරේදී ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළ අතර, මේ වසරේ මුල් කාලයේදී කොළඹට ගුවන් ගමන් අරඹා 36 වැනි වසර සමාගම විසින් සමරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳාම නැවතත් නගාසිටුවීම සඳහා එමිරේට්ස්හි කැපවීම යළිත් සහතික කිරීම වෙනුවෙන් ගුවන් සමාගම 2022 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.


(ෂමිල පෙරේරා)