election-spent

මැතිවරණයකදී අපේක්‍ෂකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය සීමා කිරීම සඳහා වන නීතිය ඇතුළත් ‘මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (22) පැවසීය.  මෙම පනත අනුව යම් අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදල තීරණය කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව බවත්, යම් අපේක්‍ෂකයකු එය ඉක්මවා වියදම් කර ජයග්‍රහණය කළහොත් එම මන්ත්‍රීධූරය අහිමි කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන බවත් ඇමතිවරයා සඳහන් කළේය.



ඇමැතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි. මැතිවරණවල දී මුදල් වැඩිපුර වියදම් කරන අයට විශේෂ වාසියක් ඇති නිසා සමාජයට පිළිගත හැකි හා අවංකව සේවය කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගැනීමට ඇති අවස්ථා අහිමි වී ඇති නිසා එම වියදම් පාලනයට නීති සකස් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත අනුව මෙම නීති ජනාධිපතිවරණයේ දී මෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ යන සියලු මැතිවරණ වල දී අදාළ වන අතර, මැතිවරණ වල දී රජයේ දේපල භාවිතය මෙන්ම නොයෙක් කල්ලි කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන හා විදේශයන්ගෙන් දෙන ආධාර ලබා ගැනීම තහනම් බව ද විජයදාස රාජපක්‍ෂ මහතා කීවේය. එමෙන්ම මැතිවරණයෙන් සති තුනක් යන විට අපේක්‍ෂකයා ජයග්‍රහණය කළත් නැතත් වියදම් කළ මුදල හා එය උපයාගත් ආකාරය ගැන වාර්තාවක් දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදිය යුතු අතර, එහි අසත්‍ය කරුණු ඇත්නම් වරදක් ලෙස සලකා දඬුවම් දිය හැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.



ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයකට යාමට නම් එම රාමුව තුළ කටයුතු කළ හැකි මහජන නියෝජිතයන් පත්කර ගත යුතු බවත්, ලොව දියුණු රටවල මෙවන් ක්‍රමවේ ද ඇති බවත් රාජපක්‍ෂ මහතා පැවසීය. මැතිවරණයක දී අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි උපරිම මුදල පක්‍ෂ ලේකම්වරු, ස්වාධීන කණ්ඩායම් නායකයන් සමඟ සාකච්ඡා කර මැතිවරණ කොමිසම විසින් තීරණය කරන බවත්, මැතිවරණයේ ස්වභාවය හා ප්‍රදේශයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව අනුව එම මුදල තීරණය කළ යුතු බවත් ඇමැතිවරයා පැවසීය.


ඩයනා උදයංගනී