dulani-pallekondage-missing

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අතුරුදන්ව ඇත.
දුලානිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරිණිය කොරියානු රග්බි සංගමයේ නිලධාරින් හරහා පොලිසියට දැනුම් දී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් ඉන්චෝන් නුවර නම්දෙංගු  පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.



තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අද (14 වැනිදා) රාත්‍රී 11.30ට පමණ ශ්‍රී ලංකාව බලා ඉන්චෝන් ගුවන් තොටුපලින් පිටත්වීමට නියමිත අතර කොරියානු පොලිස් නිලධාරියකු කියා සිටියේ කණ්ඩායම කොරියාවෙන් පිටවීමට පෙර දුලානි සොයාගැනීම සඳහා උපරිම උත්සහ දරන බවය.

හොං කොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට පමණ අවසන් වූ අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, ඉන් අනතුරුව පැවැති පිරිමි තෙවැනි ස්ථානය තේරීමේ තරගය නැරඹීම සඳහා ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියහ.  පිරිමි තරගය නිමාවීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකම ක්‍රීඩක විවේකාගාර බලා ගිය අතර ඉන් අනතුරුව නායිකාව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම සඳහා ද එක්වූවාය.



එහිදී ඇය කණ්ඩායම ලැබූ පරාජයන් පිළිබඳවත්, තරග පරාජය වීම සඳහා කණ්ඩායමෙන් සිදුවූ අතපසුවීම් පිළිබඳවත් කරුණු දැක්වූවාය. කෙසේ වුවත් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිණීය දෙවරක්ම සිංහල බසින් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම දුලානි සොයන බැවින් ක්‍රීඩාංගණයෙන් පිටත්ව යෑම සදහා වහාම කණ්ඩායමේ බස් රථය අසලට පැමිණෙන ලෙසය.

තරගාවලිය නිමා වී පැයකට පමණ පසුව පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක රැගත් බස් රථය ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටලය බලා ක්‍රීඩාංගණයෙන් පිටත්ව ගිය අතර පිරිමි කණ්ඩායමේ කළමනාකරු සහ කාන්තා කණ්ඩායමේ කළමනාකාරිණිය ක්‍රීඩාංගණයේ රැදෙමින් දුලානි සෙවීම සඳහා පොලිසියටත්, කොරියානු රග්බි නිලධාරින්ටත් සහාය දැක්වූහ.


(ශානුක අරවින්ද )