dhanushka-sydney-court

ඔස්ට්‍රේලියාවේදී ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව අද  නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලද අතර එහිදී ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි  Sydney හි නීති සමාගමක් වන SANS Law හි නීතීඥයා ධනුෂ්ක ‘සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් චෝදනාවලින් නිර්දෝෂීභාවය අපේක්ෂා කරන බවත් කියා තිබේ.



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට සිඩ්නි මහේස්ත්‍රාත් රොබට් විලියම්ස්  ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර නඩුව ජනවාරි 12 වැනිදාට එනම් මාස 2 ක් පමණ කල් තැබීය.

කාන්තාවගේ අනන්‍යතාවට ගැටලුවක් නිසා නඩු වාර්තා ප්‍රසිද්ධ කිරීම වළක්වන්නැයි පැමිණිල්ල ඉල්ලා තිබුණත් අද අධිකරණයේදී එම ඉල්ලීම ප්‍රතික්සේප විය.
අද දින ඇප ලබාගැනීමක් ගැන සාකච්ඡා නොවූ අතර ඇප අයදුමක් නොකරන්නේ නම් ධනුෂ්ක ලබන ජනවාරිය තෙක් එරට රැඳී සිටිය යුතුවේ.

මේ අතර ඔහු වෙනුවෙන් අලුතින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලාංකා ක්‍රිකට් හිටපු නීති ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක ප්‍රකාශ කළේය.
ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා අධිකරණයේ පෙනී සිටි නීතිඥ ආනන්ද අමරනාත් මහතා නඩුවෙන් ඉවත් වී තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ඔහුට කල දැනුම්දීමක් නිසාය.
අද නඩු විභාගයේදී ක්‍රීඩකයා වෙනුවෙන් ඩිෆෙන්ස් බැරිස්ටර් සෑම් පරරාජසිංහම් සහ සොලිසිටර් සාරා බ්ලැක් පෙනී සිටියහ.  
ඔහු වෙනුවෙන් ක්‍රියා කරන Sydney හි නීති සමාගම නඩු විභාගයේ මුල් අදියර සැලකිල්ලට ගෙන මේ ගැන මාධ්‍ය වෙත කරුණු වැඩිපුර නොදන්වන බව දන්වා ඇත.


 ‘අපි වැඩිදුර අදහස් දැක්වීමට කැමති නැහැ..අධිකරණය හමුවේ මෙම කාරණය නිසි ලෙස මතුවීමට ඉඩ සලසන්නෙමු.‘ ඔවුන් පවසා ඇත.


ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඔහුට සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කර තිබෙන අතර ඔහුගේ වරද ගැන කමිටුවක්ද පවත්වා විමර්ශනයක් අරඹා තිබේ.
කෙසේ වෙතත් ධනුෂ්කගේ පුද්ගලික හැසිරීමකට අදාළ චෝදනාවේ නඩු විභාගයට වියදම් කරන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.