නෙළුම් කුළුණට සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාදීම පිණිස ඉක්මන් වැඩසටහනකට යාමට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නෙළුම් කුලුන පරිශ්‍රයේ දී ඊයේ (18) සිදුවිණි.
ඇමරිකානු  ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 36,000ක) මුදලක් ආයෝජනය කරමින් සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම සමග මෙම ගිවිසුමට එළැඹිණි.


 ඉදිරි මාස හයක කාලයේ දී අංග සම්පූර්ණ කැසිනෝ ශාලාවක් සහ ජල ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද කලාපයක් ලෙස නෙළුම් කුලුන අවට කලාපය සංවර්ධනය කිරීමට නියමිත අතර ඉදිරි වසර තුනක කාලයක් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
රාත්‍රී ආර්ථිකය දියුණු කිරීම සඳහා ඩී. ආර්. විජයවර්ධන මාවතේ සහ කොළඹ නෙළුම් කුලුන අවට ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
නෙළුම් කුලුනේ දෙවැනි මහල ඇතුළු ස්ථාන කිහිපයක් සිංගප්පූරු සමාගම වෙත වසර 10ක් සඳහා බදු දී තිබෙන අතර, ඒ අනුව වාර්ෂික ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 522ක මුදලක් කුලිය ලැබේ. මේ සඳහා දැනටමත් රුපියල් මිලියන 228ක මුදලක් අත්තිකාරම් මුදල් වශයෙන් ගෙවා ඇත.


සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීම සඳහා සිංගප්පූරුවේ ක්‍රියේට් ඩිසයින් පුද්ගලික සමාගම ඉදිරිපත් වී සිටින බවත් මෙය වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී වැදගත් අවස්ථාවක් බවත්ය.