agency-man-arrested

ඊශ්‍රායලයේ රැකියාවලට යවන බව පවසා තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් ලබාගෙන වසර පහක් තිස්සේ මගහරිමින් සිටි නුගේගොඩ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

ඊශ්‍රායලයට යැවීමෙන් අනතුරුව පුහුණුවක් ලබාදී ඉහළ වැටුපක් ලබාගත හැකි පරිදි රැකියාවලට යොමුකරන බව පවසා අන්තර්ජාලයේ පළ වී තිබූ දැන්වීමක් අනුව රැකියා නියෝජිත හමුවට පැමිණි බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අනුව 2017 වසරේ දී සැකකාර රැකියා නියෝජිතවරයා වෙත රුපියල් හය ලක්ෂ විසිදහස බැගින් දෙදෙනකු සහ රුපියල් හාර ලක්ෂ හැත්තෑව බැගින් එක් පුද්ගලයකු මුදල් ලබාදී තිබූ බව

මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි. එම වසරේ සිට මේ දක්වා වසර පහක් තිස්සේ රැකියා නියෝජිත හිමිකරු විසින් විවිධ පොරොන්දු ලබාදෙමින් තමන්ගේ රැකියා බලාපොරොත්තුව කඩ කළ බවත් තමන් ලබාදුන් මුදල් නැවත ලබාදෙන ලෙස ඔවුන් කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැකියා නියෝජිත ආයතනයේ හිමිකරු 78 හැවිරිදි පුද්ගලයකු බවත් පොලීසිය කියයි. පැමිණිලිකරුවෝ සියලු දෙනා හක්මණ පදිංචිකරුවෝ වෙති. සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මෙම මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (748I) කීර්ති මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.


(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)