Two-details-from-home-and-overseas-employment-about-Munawwar-who-was-crushed-to-death-in-Korea

පසුගියදා ලොවම කම්පාවට පත් කරමින් දකුණු කොරියාවේ හැලොවින් උත්සවයක් අතරතුර නගරයේ අධික පිරිසක් එක්වූ පටු වීදියක තෙරපීමකින් විශාල පිරිසක් මියයද්දී එතැන සිට මියගිය විදේශිකයින් අතර සිටි ශ්‍රී ලාංකිකයා මහනුවර පදිංචි මුනාව්වර් මොහොමඩ් ජිනාත් ලෙස හඳුනාගෙන තිබේ.
මහනුවර, උඩතලවින්න ප්‍රදේශයේ මඩිගේ ගම්මානයේ පදිංකරුවකු වූ මෙම තැනැත්තා කොරියාවට ගොස් ඇත්තේ රැකියාවක් සඳහා ය. මීට පෙර ද ඔහු දෙවසරක් කොරියාවේ සේවය කර තිබේ.



දැනට මාස කීපයකට පෙර ලංකාවට පැමිණ විවාහ වීමෙන් අනතුරුව නැවතත් එම රැකියාව සඳහා ගිය බව ඔහුගේ පියා වන 64 හැවිරිදි ජී.අයි.එම්.මුනාෆර් පවසා තිබේ.
 දේහය හැකි ඉක්මනින් ලංකාවට ගෙනෙන ලෙස මියගිය අයගේ දෙමව්පියෝ රජයෙන් ඉල්ලා සිටිති.

‘‘ අපේ පවුල ඉතා දුප්පත් පවුලක්. තිබුණ ආර්ථික ගැටලු නිසයි පුතා විදේශ රැකියාවකට ගියේ. අපිට සැලකුවේ පුතා තමයි. දැන් ඉතින් අපිට තිබුණ හයිය ඉවරයි. අපි අසරණ වුණා. මගේ බිරිඳ වන 58 හැවිරිදි එච්.යූ.ෂමීලත් කාලෙක සිට පිළිකා රෝගයෙන් පෙළෙනවා. මමත් රෝගියෙක්. දැන් අපිට කාගේ පිහිටක්ද. මගේ පුතාගේ මෘත දේහය ඉක්මනින් ලංකාවට ගෙනත් දීලා අසරණ අපිට පිහිටක් වෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ.‘‘ යැයි පියා කියයි.

මියගිය ජිනාත්ගේ මවුපියෝ මෙන්ම ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව්පියෝ ද මහනුවර පිහිටි විදේශ අමාත්‍යාංශ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත ඊයේ (31 වැනිදා) පැමිණ තම පුතාගේ මෘත දේහය ලංකාවට ගෙනත් දෙන ලෙස ඉල්ලීමක් කළහ.



මේ පුද්ගලයා රැකියාවකට ගිය බව දෙමාපියන් කියා සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ වෙනත් කතාවකි.
දකුණු කොරියාවේදී තෙරපීමකින් මියගිය අය  අතර සිටි ශ්‍රී ලාංකිකයා රැකියාවක් සඳහා විදේශගත වූ අයකු නොවන බවත් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බවත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

මෙම සිද්ධිය වාර්තාවීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවී මේ පිළිබඳ සොයා බලා තිබූ බවද පවසා තිබේ.

 තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මියගිය පුද්ගලයා සරණාගත වීසා මත එරට රැඳී සිටි අයෙකු යයිද පැවසිණි. මියගිය සහ තුවාල ලැබූවන් අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයකු සිටින බවට මේ දක්වා තොරතුරු වාර්තා නොවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.