World-Cup-2022-Sri-Lanka-at-home-if-they-lose-to-Afghanistan-today

සුපිරි 12 දෙනාගේ වටයේදී ඕස්ට්‍රෙලියාව සහ නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් 'ඒ' කාණ්ඩයේ 5 වැනී ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ඉරණම විසදෙන තීරණාත්මක තරගයක් අද (01) වැනිදා බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතය. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවෙ මේ වන විට ලකුණු 5 බැගින් ලබා "ඒ" කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටීම හේතුවෙන් තව දුරටත් තරගාවලිය තුළ රැඳී සිටීම සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායම අද තරගයේ දී අනිවාර්යයෙන්ම ඇෆ්ගනිස්ථානය පරාජය කළ යුතුය.




එවිට ශ්‍රී ලංකාවේ ලකුණු සංඛ්‍යාව 4 ක් බවට පත්වනු ඇත. කෙසේ වුවත් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අද තරගය ජයගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙම මස 5 වැනිදා පැවැත්වෙන තරගයේදී එංගලන්තය ද පරාජය කළ යුතුය. එසේම සෙසු තරගවලදී නවසීලන්තය හමුවේ එංගලන්තය සහ අයර්ලන්තයත්, ඇන්ගනිස්ථානය හමුවේ ඕස්ට්‍රේලියාවත් පරාජයට පත් විය යුතුය. යම් හෙයකින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරිමට ඇන්ගනිස්ථානය අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායම එංගලන්තය සහ අයර්ලන්තය හමුවේ පරාජයට වන තෙක් තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇත. මෙම කුමන ආකාරයට වුවත්,


ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හැකි වන්නේ "ඒ" කාණ්ඩයේ දෙවැනියා ලෙසින් පමණි. සහභාගි වූ තරග දෙකක් වැස්සට සේදීයාම හේතුවෙන් ලකුණු 2 ක් ලබා සිටින ඇල්ගනිස්ථානයට ද තවමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතී. එහෙත් ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව පරාජය කළ යුතුය. කෙසේ වුවත් අද තරගයේ දී ඇෆ්ගනිස්ථානය පරාජය කිරීම ශ්‍රී ලංකාවට එතරම් පහසු කාර්යයක් නොවනු ඇත.  දිගින් දිගටම බිග් බෑෂ් විස්සයි-20 ලීගයට ක්‍රීඩා කරමින් ඕස්ටේලියාවේ තණතීරුවල හැසිරිම පිළිබඳව ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන්නන් දෙදෙනා වන රෂීඩ් ඛාන් සහ මුජීබුර් රහමන් ලබා ඇති අත්දැකීම් සමූහය අද තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වීමේ ප්‍රවණතාවය බැහැර කළ නොහැකිය.




එබැවින් රෂීඩ්ට සහ මුජිබුර්ට තරමක් ආරක්ෂාකාරි ලෙස පන්දුවට පහරදෙන අතරම ආසියානු කුසලාන පළමු තරගයේ දී සිදුවූ අයුරින් ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන්නන් හමුවේ පසුබෑමට ලක්වීමෙන් වැළකී සිටීමට ද ශ්‍රී ලංකා පිතිකරුවන් වග බලාගත යුතුය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අධිවේගී ඕවර 6 තුළ කඩුලු ලබා නොදී පිතිහරඹයේ නිරත වුවහොත් එය තරගයේ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් වනු ඇත.  ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යාපනය කණ්ඩායමට ක්‍රීඩා කිරීම තුළින් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණට මුහුණ දීම සඳහා මනා පුහුණුවක් ලබා සිටින ඇන්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් කල්වෙලා ද ඇතිවම දවාගැනීම අද තරගයේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට පැවරෙන තීරණාත්මක වගකීමක් වනු ඇත.


පන්දු රැකීම සහ පන්දුවට පහරදීම පමණක් නොව පන්දු රැකීම පිළිබඳව ද ශ්‍රී ලංකා කණ්ඩායම සමබර ලෙස අවධානයක් යොමු කළ යුතු බව මුහුණ දුන් අවසන් තරග කිහිපයේදී ශ්‍රී ලංකා පිලේ හැසිරිමෙන් වටහා ගත හැකිය. එබැවින් තරග ජයගැනීම සඳහා උඩ පන්දු රැකගැනීම අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකා  කණ්ඩායමට තවත් තීරණාත්මක සාධකයක් වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), පැතුම් නිසංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර


ඇෆ්ගනිස්ථාන සංචිතය

මොහොමඩ් නබී (නායක), හස්රතුල්ලා සසායි, රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, උස්මාන ඝානි, නජිබුල්ලා සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, ෆරිඩ් අහමඩි, ෆසාල්හක් ෆකුරි, කායිස් අහමඩ්, නවීන් උල්හක්, දර්විෂ් රසූලි සහ මොහොමඩ් සලීම්.


(ශානුක අරවින්ද)