The-gold-necklace-and-370000-in-the-wallet-have-been-found-and-handed-over-to-the-owner

මහමඟ වැටී තිබූ රන් මාලය සහිත රුපියල් තුන්ලක්‍ෂ හැත්තෑ දහසක් සමඟ වටිනා ලියකියවිලි සහිත මුදල් පසුම්බියක් අයිතිකරු සොයා භාරදීමේ ආදර්ශවත් ක්‍රියාවක් ඉකුත්දා දෙණියාය පොලිසිය තුළදී දක්නට ලැබිණි.

එම ආදර්ශවත් ක්‍රියාව සිදු කළේ දෙණියාය, බටාදුර, ඕල කුඹුර, පන්සල අසල ලිපිනයේ පදිංචි උපුල් කුමාර ඇතුළු පවුලේ අයයි. දම්පහල, යටිගල පදිංචි ජී. අනුෂ්කා දෙණියාය මූලික රෝහලේ සායනයකට සහභාගි වීම සඳහා සිය යතුරුපැදියෙන් යන අතරතුර යතුරුපැදියේ රඳවා තිබූ මුදල් පසුම්බිය සහිත බෑගය අතපසුවීමකින් වැටී ඇත. පසුව ඇය මුදල් පසුම්බිය

සොයා බැලීමේදී එය නොතිබූ බැවින් ඉන් පසු මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙණියාය පොලිසියට ගොස් රථ වාහන අංශයේ ස්ථානාධිපති සැරයන් කුමාරනායකට (64865) දැනුම්දී ඇත. එම නිලධාරියාද මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දැනුවත් කරමින් සිටින අතරතුර අනුෂ්කා මහත්මියගේ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමැතුමක් දෙන්නේ නැති වූ මුදල් පසුම්බිය තමන් මහමඟ වැටී තිබී අහුලා ගත් බවත් එය තමන් සන්තකයේ සුරක්‍ෂිතව තිබෙන බවත් එය ලබා ගැනීමට දෙණියාය නගරයට පැමිණෙන ලෙසත්ය.



පසුව රථ වාහන අංශයේ ස්ථානාධිපති සැරයන් කුමාරනායක සිදු කළ ඉල්ලීම පරිදි ඔවුන් සියලු දෙනාම දෙණියාය පොලිස් ස්ථානයට පැමිණියහ. ඉන්පසු දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන අමරරත්න ඉදිරියේ අයිතිකරුට මුදල් පසුම්බිය භාරදීමට කටයුතු කෙරිණි. එහිදී ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙවැනි අසීරු කාලයක මෙවැනි ආදර්ශවත් දේ කරන අය ඇගැයීමට ලක් විය යුතු බවයි.

ඌරුබොක්ක – අතාවුද පතිරණ