Dhanushka-Gunathilaka-misogyny-has-been-paid-by-a-wealthy-Sri-Lankan-woman

ශ්‍රී ලංකාව අපකීර්තියට ලක්කරමින් ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් පසු  සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයකින් දැඩි කොන්දේසි යටතේ 17 වනදා ඇප නියම වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මේ වනවිට මෙල්බර්න් නුවර නිවසක රැඳී සිටී.
ඇප ලබාගැනීමේ ක්‍රියාවලියේදී ඕස්ට්‍රෙලියාවේ ප්‍රකට නීතීඥ සමාගමක් අය කළ විශාල නීතීඥ ගාස්තුව ගෙවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්වූ නමුත් අනෙක් වියදම් දරා නැත. උසාවියෙන් ඇප ලබා පිටවීමට පෙර ඔහුට ඕස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇපයක් (ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 3720) හා දිනපතා පොලිසියට පැමිණ වාර්තා කරන්නට අවශ්‍ය නිසා ස්ථිර ලිපිනයක් සැපයිය යුතු විය.


එරටින් ලැබෙන වාර්තා අනුව මෙම ඇප මුදල හා ලිපිනය සපයන්නට ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකාවෙන් මෙල්බර්න් වෙත සංක්‍රමණයවූ ධනවත් කාන්තාවකි. ඇය හා ධනුෂ්ක අතර සම්බන්ධය තවමත් මාධ්‍ය වෙත හෙළිව නැත.
 දැඩි කොන්දේසි යටතේ ඇප ලබාදී ඇති බැවින්, ධනුෂ්කට රටින්පිටව යාමට මෙන්ම වින්දිත කාන්තාව වාසය කළ පැත්තට ගමන් කිරීම තහනම්ය. එසේම ඔහුට තම නීතීඥ කණ්ඩායම සමග ගනුදෙනුවලදී හැර සමාජ මාධ්‍ය භාවිතයද තහනම්ය.
ලබන ජනවාරි මාසය දක්වා මෙල්බර්න්හි නිවසක ඔහු රැඳී සිටින්නේ නඩුවේ ඊළග වාරය සඳහා සහභාගී වීමටයි.
එම අවස්ථාවට පෙර වින්දිත කාන්තාව සමග සමථයකට එළැඹීමටත් ඇය ‘ඉල්ලන ගානක්‘ ගෙවා නඩුවෙන් බේරීමටත් ධනුෂ්ක වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායම උත්සාහ කරන බව වාර්තාවී තිබුණි.
මෙම නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කට නවාතැන් දීමටත් ඔහු රැඳී සිටින කාලය තුළ ඔහුගේ වියදම් සොයා බැලීමටත් සිඩ්නි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ධනවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වූ බවටද වාර්තා පළවූ අතර මෙල්බර්න් නුවර පදිංචි කාන්තාව ඒ අතරින් ප්‍රමුඛයා විය.


මේ වන විට ක්‍රිකට් ක්‍රීඩකයාගේ නවාතැන්  වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු වියදමක් දැරීමට සිදු නොවන බවත් ඔහුව බලා ගැනීමට ඉදිරිපත්වූ කාන්තාව සියල්ල බලාගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෙකුද තහවුරු කර තිබේ.
ධනුෂ්ක ගුණතිලක පුද්ගලික ආසාවන් සපුරාගන්නට ගොස් වැරදීම හේතුවන් ඕස්ට්‍රෙලියාවේ සිරගතවූ නමුත් ‘අපේ ළමයෙක්‘ යන අරමුණින් ක්‍රීඩා අමාත්‍යංශය ඔහු වෙනුවෙන් කැපවූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් දෙන්නෙකු හැර ප්‍රධාන නිලධාරීන් සියල්ලෝ ඕස්ට්‍රෙලියාවේ රැඳී සිටිමින් ඔහු බේරාගන්නට පැය විසිහතරේම වැඩ කළහ.