wijedasa-22

අද සහ හෙට විවාදයට ගැනීම නියමිතව තිබු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන පාර්ලිමේන්තු සතියේදි විවාදයට ගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවති පක්ෂ නායක රැස්වීමේ දි මෙම තීරණය ගන්නා ලදි.
මෙම සංශෝධනයට රජය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන බවට මුලින් ප්‍රකාශවූ නමුත් එහි ධනාත්මක යෝජනාවන් වෙනුවට පුද්ගලික අවාසි කල්පනා කර මේ වනවිට එයට සහය නොදැක්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
මේ හේතුවෙන් මේ දක්වා කාලය හා මුදල් නාස්ති කරමින් පාර්ලිමේන්තුවේ ඵලදායි වෙනසක් ඇතිකිරීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ගත් උත්සාහය අපතේ ගොස් තිබේ.

ඔහු ඒ ගැන කලකිරී කතා කළේය.

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක් ,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය   විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

ප්‍රජාත්‍රන්තවාදී පැවැත්ම සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්  ඇස් ඇර,මොළය පාවිච්චි කර මෙම අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද  ඔහු ප්‍රකාශ කළේය.

ජනතාවගේ හැගීම් තේරුම් නොගනිමින් මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිවිපාක රටේ අසරණ ජනතාවට භුක්ති විඳීමට සිදුවන බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්  පවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන එන සංශෝධන සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් පොදු මහජනතාවගේ හිතසුව පිණිස ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බවත්  ඔහු පැවසීය.