uhana-incident

දඩයමේ ගොස් සතුන් දඩයම් කරගෙන පැමිණ දඩමස් උයා මිතුරන් සමග එක්ව ඒවා කමින් කසිප්පු පානය කර පියා වෙරි මරගාතේ තමාට සහ බාල වයස්කාර නැගණියට නිතර පහර දෙන බව කියමින් 21 හැවිරිදි දියණියක් පැමිණිල්ලක් කළ බව උහන පොලිසිය පවසයි. බාහිර උපාධියක් හදාරන තමාට සහ නැගණියට පහර දීම නිසා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. දඩයම් කර ගත් ලේ පෙරමින් සිටින අහිංසක සතුන් දැකීම නැගණියට හා තමන්ට ඉවසිය නොහැකි වේදනාවක් බවත් 21 හැවිරිදි දියණිය පවසා ඇති බව උහන පොලිසියේ නිලධාරියෙක් කීය.



පියා දඩයමේ යාම කසිප්පු පානය කිරීම නවතා දමන ලෙසට හා නැගණියට හා තමාට පහර දීම නතර කරන ලෙස පොලිසියට කැඳවා අවවාද කරන ලෙසත් ඇය මෙම පැමිණිල්ල  මගින් ඉල්ලා තිබිණි යැයි කියති. මව විදේශගතව සිටින බවත් තමා සහ නැගණිය ආච්චි අම්මාගේ රැකවරණය ලබන බවත් ඇය පොලිසියට පැමිණිලි කර ඇත. දියණිය කළ පැමිණිල්ල අනුව පියා ඊයේ (6දා) උහන පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කරනු ලැබුවේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න  මහතා විසිනි. දඩයමේ ගොස් සතුන් මරා කසිප්පු නොබොන ලෙසත් දරු දෙදෙනාට පහර නොදෙන ලෙසටත් දැඩි ලෙස අවවාද කර ඇති ප්‍රධාන  පොලිස් පරික්ෂක කරුණාරත්න මහතා යළි  දරුවන්ගෙන් මෙවැනි පැමිණිලි ලැබුණොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කරන බවටත් අවවාද කර මුදා හැර තිබේ.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය