
කොත්මලේ පොලිස් වසමට අයත් කටුකිතුල මාරි අම්මාන් කෝවිලේ දේව පූජාවකට සහභාගි වී, එහි තැන්පත් කර තිබූ කළු ගලෙන් නෙළන ලද ශිව දේව ප්‍රතිමාවක් සොරාගෙන ගමන් බෑගයේ සඟවා ගෙන බස් රථයකින් පැමිණ සිටි තිස් හැවිරිදි කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.
සොරාගත් දේව ප්‍රතිමාව ද සැකකාරියගේ ගමන් බෑගය තුළ තිබී පොලිස් බාරයට ගෙන ඇත. මෙම සැකකාර කාන්තාව වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක බව පොලීසිය පවසයි. වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් කොත්මලේ කටුකිතුල ප්‍රදේශයේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ පැවැති විශේෂ දේව පූජාවකට සහභාගි වීමට කුලී පදනම ලබාගත් බස් රථයකින් ගොස් ඇත.
දේව පූජාව අවසානයේ මෙම කාන්තාව කෝවිලේ තිබූ ශිව දේව ප්‍රතිමාවක් සොරාගෙන එම ප්‍රතිමාව අත් බෑගය තුළ සඟවාගෙන ඇතැයි පොලීසිය පැවැසීය. කෝවිලේ තැන්පත් කර තිබූ ශිව දේව ප්‍රතිමාවක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව දුටු පූසාරිවරයා සීසීටීවී කැමරා පරීක්ෂා කර බලා වත්තල සිට පූජාවට පිරිස පැමිණි බස් රථයේ අංකය සොයාගෙන එම අංකය කොත්මලේ පොලීසියට දැනුම් දී සිද්ධිය ගැන පැමිණිලි කර තිබේ. කොත්මලේ පොලීසිය මේ බව පොලිස් ස්ථාන වෙත විශේෂ පොලිස් පණිවිඩයක් මගින් ඒ මොහොතේම දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි. ගම්පහ මිරිස්වත්ත හන්දියේ රාජකාරියේ නිරතව සිටි යක්කල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් කුමාරතුංග (53674), සැරයන් විජේරත්න (62757), කොස්තාපල් මිහිරංග (24250) යන නිලධාරින් මෙම බස් රථය පරික්ෂා කර බලා නතර කර මගීන් එකිනෙකා වෙනම පරික්ෂ කර බලා ඇත.
මෙම පරික්ෂා කර බැලීම්වලදී ශිව දේව ප්‍රතිමාව අත් බෑගය තුළ සඟවාගෙන සිටි කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැකි විණි යැයි පොලීසිය කියයි. නිවසේ තබාගෙන වැඳුම් පිදුම් කිරීමට දේව ප්‍රතිමාව සොරාගෙන ආ බව සැකකර කාන්තාව පොලීසියට පවසා ඇති බව කියති. යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සිතාර කරුණාරත්න මහතාගේ උපදෙස් මත, සැකකාර කාන්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි. සැකකාරිය දේව ප්‍රතිමාව ද සමග වැඩිදුර පරික්ෂණ සඳහා කොත්මලේ පොලීසියට බාර දීමට නියමිතව ඇත.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගම්පහ - තිලකරත්න දිසානායක)
Comments
Post a Comment
Your comment will be visible after approval