land-report-cope

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් බේදීමේ දී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කට්ටුව දැඩි අප්‍රසාදය පළවිය.  මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර හාරලක්ෂය

පිළිබඳව වහාම සොයා බලා කරුණු වාර්තා කරන ලෙසට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නියෝග කළ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පසුගිය වසර 20ක පමණ කාලයේ දී සිදු වූ ඉඩම් පැවරීම් සම්බන්ධයෙන් විශේෂ විගණනයක් පවත්වන ලෙසට විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කළේය.කෝප් කමිටු සභාපතිවරයා මෙම ඉල්ලීම කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය සාධනය පිළිබඳව සොයා බැලීම සදහා එහි ප්‍රධානීන් කෝප්  කමිටුව හමුවට පසුගිය 21 වැනිදා කැඳ වූ අවස්ථාවේදීය. එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.  පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුට ඉඩම්වල වටිනාකම ලෙස එහි ගිණුම්වල සටහන් වී ඇත්තේ රුපියල් හැට හත් කෝටි හැටලක්ෂයක් බවයි.



කොමිෂන් සභාවේ ඉඩම් අක්කර ලක්ෂ 18 ක මුළු වටිනාකම රුපියල් හැට හත් කෝටි හැටලක්ෂයක් විය නොහැකි බව පැවසූ විගණකාධිපතිවරයා ඒ ආකාරයට  ගණන් බැලූ විට අක්කරයක වටිනාකම වන්නේ රුපියල් 373 ක් බව ද ප්‍රකාශ කළේය. මෙය නිවැරැදි විය යුතු තත්වයක් බව ද ඔහු පැවසුවේය. එහිදී අදහස් දැක් වූ සමගි ජන. බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයට ඉඩම් තක්සේරු කළේ කවුදැයි ප්‍රහේලිකාවක් බවයි.

මේ ඉඩම් තක්සේරුව අනුව ඉඩම් පර්චසයක වටිනාකම වන්නේ රුපියල් දෙකක් බව පැවසු මන්ත්‍රීවරයා කොමිසමේ ඉඩම්වල වටිනාකම 2015 වර්ෂයේ සිට පවතින්නේ එකම අගයක බව ද ප්‍රකාශ කළේය.  එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රත්නපුර රාස්සගල වත්තේ ඉඩමක් වෙනුවට අක්කර 24ක ඉඩමක් මහනුවර හන්තානෙන් නීති විරෝධී ආකාරයට ලබා දී ඇති බවයි.

මීට අමතරව කෑගලේ අක්කර 24ක ඉඩමක් රජයට පවරාගෙන ඒ වෙනුවට අක්කර 22 ක ඉඩමක් හන්තාන ප්‍රදේශයෙන් ලබා දී ඇති බවත් කෑගල්ලෙන් මෙසේ පවරා ගෙන ඇත්තේ පර්චසය රුපියල් සියයක්වත් නොවටිනා ඉඩමක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එහි දී අදහස් දැක්වූ ඉඩම් ප්‍රතිසංස්කරණ  කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුළු  ඉඩම් ප්‍රමාණය වශයෙන් සඳහන් වී තිබුණේ අක්කර දහඅට ලක්ෂ නව දහස් හාර සිය අනූ පහක් බවයි.  



ඉන් අක්කර එක්ලක්ෂ අසූ හතර දහස් එකසිය දාහතරක් රජයේ ආයතනවලට ලබා දී ඇති බවත් තවත් අක්කර  එකොළොස් දහස් හයසිය තිස් නවයක්  බදු පදනම මත ලබා දී ඇති බවත් ඔහු කීවේය. තවත් අක්කර 7,953ක් දේවාල සහ නින්දගම්වලට නිදහස් කර ඇති බව පැවසු විජේසිංහ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව මේ වනවිට තිබිය යුතු ඉඩම් ප්‍රමාණය අක්කර හාර ලක්ෂ දහ තුන් දහස් එක සිය හැත්තෑවක් බව සඳහන් කළේය.  දැන් සොයා ගැනීමට සිදුවී ඇත්තේ එම ඉඩම් බව ඔහු පැවසීය.


අංජුල මහික වීරරත්න