gujarat-cable-bridge-collapse-update

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි හි වැල් පාලමක් කඩාවැටීම නිසා පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක් ඉරිදා සවස වාර්තා විය.
බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවති පැරණි පාලමක් වූ මෙය මෑත ප්‍රතිසංස්කරණය කරන ලද බව පැවසේ. ප්‍රතිසංස්කරණය කිරීමෙන් සතියකට පසු කඩා වැටීම සිදුවී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස්  ගඟට වැටුණු තවත් 100කට අධික පිරිසක් සොයාගන්නට බැරිව ගොස් ඇත.

ඔවුන් සෙවීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.
    අද සවස 6.42 ට එල්ලෙන පාලම කඩා වැටී ඇත්තේ 500 ක පමණ පිරිසක් ‘චත්‘ නමින් හැඳින්වෙන පූජාවට අදාළව චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් සිදු කිරීමට එහි රැස්ව සිටියදීය.  එම ස්ථානයේ මිනිසුන් ගමන් කරන විට පාලම අනතුරුදායක ලෙස පැද්දෙන බව පෙන්නුම් කළේය.
    වාර්තාවලට අනුව, 100 දෙනෙකු පමණ තවමත් ‘මචු‘ ගඟේ ජලයේ සිරවී සිටින බවට විශ්වාස කෙරේ. බොහෝ දෙනෙක් ජලයේ පොරබදමින්, අඳුරේම ඉවුර වෙත ළඟා වීමට උත්සාහ කරන බව එම ස්ථානයේ සිට වීඩියෝ පටවල දැක්වේ.

    මියගිය අයගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බව ප්‍රදේශවාසීහු පවසති. පුද්ගලයන් හැත්තෑ දෙනෙකු බේරාගෙන රෝහල් ගත කර ඇත. ආලෝකය නොමැතිකම හේතුවෙන් මුදාගැනීමේ කටයුතු අඩාල වී ඇති බව බලධාරීහු පවසති.

    වසර 150 කට ආසන්න පැරණි සහ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන මෝර්බි හි කේබල් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාස හතක් වසා දමා තිබුණි.

එය ගුජරාටි අලුත් අවුරුද්ද වන ඔක්තෝබර් 26 වන දින නැවත මහජනතාව සඳහා විවෘත කරන ලදී.

    "අලුත්වැඩියා කිරීම පසුගිය සතියේ සිදු විය. අපි ද කම්පනයට පත් වී සිටිමු. අපි කාරණය සොයා බලනවා... මෙම ඛේදවාචකයේ වගකීම රජය භාර ගන්නවා," ගුජරාට් හි කම්කරු සහ රැකියා අමාත්‍ය බ්‍රිජේෂ් මර්ජා NDTV වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

    විපතට පත් වූවන්ගේ පවුල් සඳහා අග්‍රාමාත්‍ය ජාතික සහන අරමුදලෙන් රුපියල් ලක්ෂ 2 ක වන්දියක් ප්‍රකාශයට පත් කර තිබේ.

    ප්‍රාන්තයේ සභා මැතිවරණයට පෙර පාලම කඩා වැටීමත් සමඟ, කොන්ග්‍රසය සහ අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ඛේදවාචකයට භාරතීය ජනතා පක්ෂයට දොස් පවරා ඇත. පාලම නැවත විවෘත කිරීම සඳහා නගරයේ සිවිල් ආයතනයෙන් අවසරයක් නොලැබුණු බව පවසමින් කොංග්‍රසය පරීක්ෂණයක් ඉල්ලා ඇත.