gammanpila-legal

2022 උසස් පෙළ විභාගය කල් නොදැමහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය. 

දැඩි අභියෝගවලට මුහුණදුන් දරුවන් පිරිසක් මෙවර විභාගයට මුහුණදීමට සිටින බවත්, දෙවැනි වර විභාගයට මුහුණදෙන දරුවන්ට විභාගය සඳහා  සුදානම් වීමට සාධාරණ කාලයක් ලබානොදීම යන කරුණු මත මෙම නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවේදී. වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, "මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන දරුවන් තමයි ඉතිහාසයේ දැවැන්තම අභියෝගයන්ට මුහුණදුන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල්, ටියුෂන් පන්ති වැහුවා. කල් ඇඳුණු ගුරු වර්ජනයක් තිබුණා. තෙල් හිඟයෙන් ගමනාගමනය බිඳවැටුණා. විදුලිය තවමත් කපනවා. ආර්ථික අර්බුදයෙන් ගෙවල්වල ප්‍රශ්න පැන නැගුණා. මේ සියල්ලම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. පාසල් අතිවිශාල ගණනක විෂය නිර්දේශ ආවරණය  කර ගැනීමට නොහැකිව තිබෙන බව දරුවන් වගේම ගුරුවරුද අපට දැනුම් දුන්නා. දෙවැනි සහ තෙවැනි  වරට විභාගයට මුහුණදෙන දරුවන් තත්වය ඊටත් වඩා ශෝචනීයයි. 2021දී විභාගය අවසන් කරලා ප්‍රතිඵල නිකුත් කරන්න දින 202ක් ගත්තත් ඊළඟ විභාගයට සුදානම් වෙන්න ලබාදී තිබෙන්නේ දින 98යි. ඇත්තෙන්ම වැඩියෙන්ම අභියෝගවලට මුහුණදුන් මේ දරුවට විභාගයට සුදානම් වීමට අඩුම කාලය ලබාදීම කෙතරම් අසාධාරණ ද?

දෙවැනි වර වෙනත් විෂය ධාරාවකින් විභාගයට මුහුණදීමට තීරණය කළ දරුවෙකුට අලුත්ම විෂයයන් තුනක වසර දෙකක් පුරා උගන්වන දේ දින 98න් ග්‍රහණය කරන්න පුළුවන් ද? වසර දෙකක් පුරාවට විෂයයන් තුනක උගන්වන දේ දින 98 දරුවන්ට ග්‍රහණය කරගන්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒ කියන කෙනාගෙ ඔළුව පරික්ෂා කරන්න ඕනේ.

විභාගය කල් දැමීම නොකළ යුතුයි කියන තර්ක ගෙනෙන ඕනෑම ජගතෙකුට මා සමග රූපවාහිනී විවාදයකට එන්න කියා අභියෝග කරනවා. අපි සූදානම් ඔබ වැරදියි මේ අහිංසක දරුවන් හරි කියන කාරණය කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නන්න. අගතියට පත් දරුවන්ට ආණ්ඩුවෙන් කරන මේ අසාධාරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් වගේම අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කිරීමට අපි මේ දිනවල කටයුතු කරගෙන යනවා. දිස්ත්‍රික්ක 22ක දරුවන් අටදහසක් නඩුව වෙනුවෙන් අප සමග එකතු වී තිබෙනවා” යැයිද ප්‍රකාශ කළේය

(නවෝද්‍යා පවනි)