galle-kid-death-suspect

විශ්‍රාමික හෙද නිලධාරියකු වන පියා විසින් දෙන ලද වැරැදි එන්නතක් හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා මියගිය බව කියන තරුණයකුගේ මළසිරුර මරණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් තොරව, කරාපිටිය රෝහලෙන් පෙරේදා (12) සවස, නිදහස් කරගෙන ගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. 
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, වැලිපත ප්‍රදේශයේ පදිංචි රසිත මනුර කංකානම්පතිරණ නමැති 25 හැවිරිදි තරුණයෙකි. එම තරුණයාට ලබාදී ඇත්තේ ද පියා විසින් කරාපිටිය රෝහලේ වාට්ටුවකින් අනවසරයෙන් රැගෙන යන ලද එන්නතක් බවද සඳහන් වේ.

මෙම තරුණයාට දින කිහිපයකට පෙර උදරයේ තදබල වේදනාවක් හටගෙන ඇති අතර, එයට හේතුව ආමාශයේ ආම්ලික තත්වයක් යැයි සිතූ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් තමා විශ්‍රාම ලැබීමට පෙර සේවය කළ එහි හෘද හා උරස් ඒකකයෙන්, ආමාශයේ තුවාල සහිත ගැස්ට්‍රයිටිස් රෝගීන්ට ලබා දෙන ඔම්ප්‍රෙසාල් (Omeprazole)  නමැති ඖෂධය ඉල්ලා ඇතැයි කියති. එහි හෙදියන් වැරදීමකින් දුන් එන්නත් කුප්පියකින් එම එන්නත වෙනුවට මාත්‍රාවක් දරුවාට ලබාදී ඇතැයි පැවැසේ.

එදින රාත්‍රිය වන විට තරුණයාගේ තත්ත්වය වඩාත් අසාධ්‍ය වී ඇති අතර ඊට හේතුව පරික්ෂා කිරීමේ දී ඔම්ප්‍රෙසාල් යැයි සිතා තරුණයාට ලබා දී ඇ ත්තේ හෙපරින් (Heparine) නමැති රුධිරය කැටිගැසීම වළක්වන ඖෂධයක් බව දැනගෙන ඇතැයි කියතිමෙම ඖෂධ දෙකම අඩංගු  කුප්පි පෙනුමෙන් එක සමාන වන අතර අසාධ්‍ය තත්වයට පත් තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙම මියගිය තරුණයාගේ සිරුර, වාට්ටුව බාර වෛද්‍යරයා විසින්, මරණ පරික්ෂණයකට යොමු කිරීමෙන් තොරව ඥාතීන්ට නිදහස් කරනු ලැබ ඇති අතර,

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එම සිද්ධිය යටපත් කිරීමට දැඩි උත්සාහයක් දරන බවද වාර්තා වේ.

රෝහලේ 16 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට අනතුරුව ප්‍රධාන දැඩි සත්කාර ඒකකයේ දී මියගිය මෙම තරුණයාගේ දේහය කිසිදු ආකාරයක මරණ පරික්ෂණයකට යොමු නොකර වාට්ටුවෙන් නිදහස් කිරීමට වෛද්‍යවරුන්ට විවිධ පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව ද දැනගන්නට ඇත. මෙම එම දේහය ආදාහනය කිරීමට අවසර දෙන්න යැයි විශාල පිරිසක් ඉල්ලීම් කර ඇතත් දේහය දඩල්ල පොදු සුසාන භූමියේ අද (13) සවස භූමදාන කිරීමට පමණක් රෙජිස්ට්‍රාර්වරයා අවසර දී තිබේ.

මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යු.එම්. රංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මාධ්‍යයට කිසිදු තොරතුරක් ලබාදිය නොහැකි බවයි. තමන් මෙම මරණය  සම්බන්ධයෙන් දන්නා බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව තමන්ට ඒ ගැන විස්තරයක් කිව නෙහැකි බවත් කී අධ්‍යක්‍ෂවරයා එම මරණය සම්බන්ධයෙන්  වරදක් තිබෙනවාදැයි තමන්  නොදන්නා බවද කීවේය. මේ දක්වා කිසිම පැමිණිල්ලක් ලැබී නොමැති බවද සඳහන් කළේය.


සිරංගිකා ලොකුකරවිට