debarawewa-incident

මාසයකුත් දින 24ක් වයසැති ළදරුවකු දෙබරවැව රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 20 වැනිදා මියයාමේ සිද්ධියක් හේතුවෙන් දෙබරවැව ප්‍රදේශයම කම්පාවට පත්ව සිටී. නිලේෂ් මෙත්සිළු නමැති මෙම ළදරුවා මියගියේ රෝහලේ හෙද නිලධාරිනියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවට එම  දරුවාගේ මව සහ පියා චෝදනා කරති.

කිරිවමනය දැමීම නිසා දෙබරවැව ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට ඉකුත් 19 වැනිදා දරුවා පෙන්වීමෙන් පසු එම වෛද්‍යවරයාගේ උපදෙස් මත දරුවා රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කළ බවත්, එහිදී ෆාමසියෙන් ගෙන්වාගත් ඖෂධ සහ සේලයින් දරුවාට ලබාදුන් බවත් මවුකිරි නොදෙන ලෙස හෙදියන් තමාට දැන්වූ බවද ඇය කීවාය.

ඒ අතරතුර කිහිප වතාවක්ම දරුවා මහ හඩින් හඩා වැටුණු බවත්, අලුයම  5ට පමණ අවදි වූ දරුවා තමන් සමග සිනාසෙමින් නිරෝගීව සිටි බවත් ඇය සඳහන් කළාය.

රෝහලේ හෙදියන් දරුවාගේ නාසයට බට දෙකක් ගසා මවුකිරි ඉවත් කළ බවද ඇය  කීවාය. ඉන්පසු ඔවුන් දරුවාගේ රුධිර පීඩනය පරික්ෂා කර ඔක්සිජන් ලබා දී දරුවාට දුම් ද ඇල්ලූ බවත්, ඉන් පසු දරුවා ඉතා අපහසුවෙන් සිටි නිසා තමන් හෙද නිලධාරිනියකට ඒ ගැන දැනුම් දුන් බවත් ද දරුවාගේ මව සඳහන් කළාය. එම හෙදිය අම්මා අපි මේක දරුවට හොඳවෙන්නයි කරන්නේ. අම්මා පාඩුවේ ඉන්න' යැයි පැවසූ බවත්, පසුව දරුවාගේ නාසයට ඇතුළු කර තිබූ බව ගලවා එන්නතක් ලබාදුන් බවත් කී ඇය ඒ අවස්ථාවේ කිහිප වරක් කෙඳිරි ගා අපහසුවෙන් හුස්ම ගත් දරුවා අප්‍රාණික වූ බව ද පැවසුවාය.

ඉන්පසු හෙදියන් පැමිණ දරුවාගේ හදවත තෙරපීම සිදුකළ බවත්, එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයකු දරුවාට දුම් ඇල්ලීම සම්බන්ධයෙන් හෙදියන්ට බැණ වැදුණු බවත් ඇය කීවාය.තම දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද බිනාදරි මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දෙබරවැව රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසුවේ  මවුකිරි සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

එම දරුවා පෞද්ගලික සායනයක දී පස්වරු 6.30 ට පමණ පරීක්‍ෂ කළ විශේෂඥ වෛද්‍යවරයා දරුවාගේ හදවතේ ක්‍රියාත්මක වන වේගය වැඩි බව පරික්ෂා කර එවෙලේම රෝහල්ගත කරන ලෙස දෙමාපියන්ට දැනුම් දී ඇතත් ඔවුන් දරුවා රෝහල් ගත කර ඇත්තේ රාත්‍රී 9.30ට පමණ බව ද ඔහු පැවසීය.

මවුකිරි නොදෙන ලෙස දැනුම් දී තිබියදීත් මව දරුවාට විටින් විට මවුකිරි දී ඇති බවත්, එසේ මවුකිරි දීමේදී මවුකිරි පෙනහලු  වෙත ගොස් තව තවත් කිරි සිරවෙන බවත් කී වෛද්‍යවරයා දරුවා මියගොස් ඇත්තේ ඒ හේතුවෙන් බව ද කීවේය. දරුවාගේ ජීවිතය බේරාගැනීමට රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විශාල වෙහෙසක් දරා ඇති බවත්, රෝහල්වල ජීවිත බේරාගැනීම මිස මරාදැමීම නොකරන බවත් වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.


රුක්මන් රත්නායක