කිරිබත්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයකුට ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් එල්ල කර රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ගැනීමට තැත් කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය නියම කළාය. මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන්  තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇතැයි කියමින් කිරිබත්ගොඩ පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස  පොලීසියට නියම කළාය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ, කදාන ප්‍රදේශයේ පදිංචි රොබට් නෝවියර් සේවියර්, ජාඇල ප්‍රදේශයේ පදිංචි වරායන ලියනගේ දොන් සචින්තන් සහ කොළඹ 10 සංඝරාජ මාවතේ පදිංචි මොහොමඩ් නියාස් මොහොමඩ් නහීම් නමැත්තය.

සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කිරිබත්ගොඩ පොලීසියේ සැරයන් අරුණ කුමාර මහතා, වත්තල හුණුපිටිය ප්‍රදේශයේ බිම්බර මෙටල් නමින් යකඩ අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යන පැමිණිලිකරු රාජ්‍ය ආයතනවලින් මහා පරිමාණයෙන් අබලි යකඩ ඇතුළු ද්‍රව්‍ය ටෙන්ඩර් මගින් ලබාගන්නා ව්‍යාපාරයක් ද පවත්වාගෙන යන බව දැනුම් දුන්නේය.

අබලි යකඩ ටොන් 1,700ක තොගයක් සම්බන්ධයෙන් පැමිණිලිකරු ඉදිරිපත් කළ ටෙන්ඩරය ඔහුට අනුමත වී ඊට අදාළ සියයට 10 වශයෙන් රුපියල් ලක්‍ෂ 88ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවීමෙන් පසුව අදාළ යකඩ තොගය ඔහුට නොදීම සම්බන්ධයෙන් පැමිණිලිකරු දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද, එසේ තිබියදී ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති සැකකරුවන් කප්පම් වශයෙන්  රුපියල් කෝටියක මුදලක් ඔහුගෙන් ඉල්ලා ඇති බවත්, මුදල් නොමැති නම් අදාළ අබලි යකඩවලින් ටොන් 500ක් ඔවුන්ට දෙන්නැයි තර්ජනය කර ඇතැයි ද දැනුම් දුන් සැරයන් අරුණ කුමාර මහතා,

ටෙන්ඩරය සහ සැකකරුවන් අතර ඇති සම්බන්ධය හෙළි කරගැනීමට බස්නාහිර උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන කරන්නේ යැයි දැනුම් දුන්නේය.

මෙම අපරාධයට තවත් පිරිසක් සම්බන්ධ වී ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි දැනුම් දුන් සැරයන් අරුණ කුමාර මහතා, සැකකරුවන්ට ඇප නියම කළහොත් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බාධා විය හැකි හෙයින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත්කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළාය.


මනෝප්‍රිය ගුණසේකර