brazil-election

ඉරිදා පැවැත්වූ ජනපතිවරණයෙන් බ්‍රසීලයේ වත්මන් ජනපති ජෙයාර් බොල්සොනාරෝ  43.4% ක් ලබා ගත් අතර ප්‍රතිවාදී අපේක්ෂක 2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ හිටපු වෘත්තීය සමිති නායක ඉනාසියෝ ලූලා ද සිල්වා 48.2% ක් ලබා ගත්තේය. ඒ අනුව වත්මන් ජනපතිවරයා පසුබෑවේය. නමුත් දෙන්නාගෙන් එක්අයෙකුවත් සියයට 50 ට වඩා නොගැනීම නිසා ගැටලුවක් මතුවිය.


මිලියන 156 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන බ්‍රසීලයේ ජනපතිවරණ නීති අනුව සියයට 50 කට වඩා එක් අපේක්ෂකයෙකු ඡන්ද ලබා නොගතහොත් නැවතවරක් ඡන්ද විමසීමක් පෙරපරිදිම පැවැත්වේ.
මෙම යුගලය දැන් ඔක්තෝබර් 30 වන දින දෙවන වටයට මුහුණ දෙනු ඇත.
වත්මන් දක්ෂිණාංශික ජෙයාර් බොල්සොනාරෝ වාමාංශික හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට එරෙහිව මුහුණ දෙනු ඇත.

2018 දී තේරී පත් වූ හිටපු හමුදා කපිතාන්වරයෙකු වන බොල්සොනාරෝ, ලතින් ඇමරිකාවේ විශාලතම රටවන බ්‍රසීලය තුළ ඔහුගේ ගතානුගතික න්‍යාය පත්‍රය පැටවීමට උත්සාහ කලේය. ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට අපොහොසත් වූ අතර ලිංගික හා ජාතිවාදී අදහස් නිසා විවේචනයට ලක්වූවෙකි.
කොරෝනා වෛරසය "කුඩා උණ" ලෙසින් බැහැර කර රට අගාධයකට තල්ලු කළේය.

2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ හිටපු වෘත්තීය සමිති නායකයෙකු වන ලූලා, පාරිසරික වැඩසටහන් නිසා ප්‍රකට විය. ත්‍යාගශීලී සමාජ වියදම් වැඩසටහන් නිසා ජනප්‍රිය විය.


බලයේ සිටියදී, බ්‍රසීලයේ සමාජ ආරක්ෂණ ජාලය නාටකාකාර ලෙස ව්‍යාප්ත කිරීම නිසා බොහෝ අයට සහනයක් ඇති විය. නමුත් ඔහු ධූරයෙන් ඉවත්ව ගිය වසර කිහිපය තුළ ආර්ථිකය පිරිහී ගියේය, ඔහුගේ අතින් තෝරාගත් අනුප්‍රාප්තිකයා දෝෂාභියෝගයට ලක් වූ අතර ඔහුගේ සහචර බොහෝ දෙනෙක් සිරගෙට ගියහ. දූෂණ චෝදනා එල්ලකර ලූලා මාස 19ක් සිරගත කර තිබුණි.
ලූලාට 2018 වසරේ අවසන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වූයේ ඔහු සිරගතව සිටි නිසාත් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කර තිබූ නිසාත්ය.