උග්‍ර වෙමින් පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටියි.
අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබාදීමට නියමිතව තිබූ ඩොලර් මිලියන දෙසීයද නොලැබෙන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මෙතෙක් අවසන් නොවීම ඊට හේතු වී තිබේ.



මේ අතර ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කිරීම සඳහා තෙවැනි වරටත් ටෙන්ඩර් කැඳවීමට අමාත්‍යාංශයට සිදු වී ඇත. තෙවැනි වරටත් ටෙන්ඩර් කැඳවා ඇත්තේ පළමු හා දෙවැනි වරට කළ ටෙන්ඩර් කැඳවීම් ඖෂධ සැපයුම්කරුවන් භාර නොගැනීම ය. ඖෂධ සැපයුම්කරුවන් ආනයනය කර ලබා දී තිබෙන ඖෂධ සඳහා වසරක පමණ කාලයක් තිස්සේ රුපියල් කෝටි හයදහස් පන්සියයක පමණ හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම ඊට හේතු වී තිබේ.

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට මුදල් නොලැබෙන හෙයින් ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට හැකියාවක් නොමැති වීම ප්‍රධානම ගැටලුව වන අතර ඒ වෙනුවට අදාළ සමාගම් තමන් ආනයනය කරන ඖෂධවල වටිනාකම මහාභාණ්ඩාගාරයට ගෙවිය යුතුය. එම ඖෂධ ප්‍රමාණය ආනයනය සඳහා ඉන්දියාවට ඇණවුම් කෙරෙන්නේ ඉන් පසුවය. ආණ්ඩුව සිය හිඟ මුදල් ගෙවීම පැහැර හැර ඇති හෙයින් තවදුරටත් ඖෂධ ආනයනයට මුදල් වෙන් කළ නොහැකි බව සැපයුම්කරුවෝ පවසති. මෙම තත්ත්වය මත තෙවැනි වරටත් කර තිබෙන ටෙන්ඩර් කැඳවීමට මහාපරිමාණ ඖෂධ ආනයන සමාගම් ඉදිරිපත් නොවනු ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.



තව ද දේශීය ඖෂධ නිෂ්පාදකයන් සතුව ඇති ඖෂධ තමන්ට ලබා දෙන ලෙස අමාත්‍යාංශය ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධ ඉහළ පෙළේ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ පවත්වා තිබෙන අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන් ද එම සාකච්ඡාවට කැඳවා තිබිණි. එහි දී නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකියාවක් නොමැති බවය. එමෙන්ම මේ වන විට ගෙවීමට ඇති හිඟ මුදල් ලබා දෙන ලෙස ද ඔවුන් එම සාකච්ඡාවේ දී ඉල්ලා ඇත.

මෙම තත්ත්වය මත ඖෂධ හිඟය බරපතළ වනු ඇතැයි ද ඉහත ආරංචි මාර්ග පැවසීය.

ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දාහතර ගබඩාවල නොමැති වුවත් රෝහල්වල පවතින බවද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තුන්සිය අසූ තුනෙන් අනූ එකක් හිඟ බවද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

නිලන්ත මදුරාවල