පාසල් නිම වී නිවසට පැමිණි බාලවයස්කාර දැරියකට අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ කොළඹ  මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අතවරයට ලක් වූ දැයට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

උපාධි අපේක්ෂිකාවක් වන වින්දිත තරුණිය මීට වසර 09කට ඉහතදී 10 වසරේ සිසුවියක සිටියදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ මුල් දින සාක්ෂි ලබාදීමෙන් අනතුරුව දෙවැනි දිනයේ සාක්ෂි ලබාදීමට සුදානම් වූ අවස්ථාවේදී චෝදනාවන්ට වරද  පිළිගත් දෙදරු පියෙකුට එලෙස දඩුවම් නියම විය.



 විනිසුරුවරයා ස්ත්‍රී දූෂණයක් යනු මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන බරපතළ අපරාධයක් බව ද පෙන්වා දුන්නේය. සිර දඬුවමට හා වන්දි මුදලට අමතරව රුපියල් 25,000ක දඩයකටද විත්තිකරු යටත් කළ විනිසුරුවරයා එම වන්දි හා දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිර දඬුවම් නියම කළේය.

 2013 වසරේදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරමින් වින්දිත කාන්තාව අධිකරණයේ සාක්ෂි ලබාදුන් අතර ඇය දෙවැනි දිනයට සාක්ෂි ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම්  දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් වින්දිත තැනැත්තිය 2013 වසරේදී මෙම අතවරයට ලක්වීම ඇති බවත්, ඒ වන විට ඇය 15හැවිරිදි වියේ පසුවී ඇති බවත් පවසා සිටියේය. පාසල් නිමවී ඇය නිවසට පැමිණෙන විට ඇගේ මව නිවසේ සිට ඇති බවත්,

විත්තිකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන් ඇය ගැබිනියක් බවට පත්ව ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

 තරුණිය පෙර දින ලබාදුන් සාක්ෂිවලින් තමන් වැරදිකරු වන බව දැනගෙන තමන්ට වැඩ වරදින බව විත්තිකරුට දැනුන හෙයින් ඔහු වරද පිළිගත් බව පවසූ රජයේ නීතිඥවරයා විත්තිකරුට දැඩි දඬුවම් පමුණුවන්නැයිද ඉල්ලා සිටියේයෙ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින්

 විත්තිකරු 2013 වසරේදී දැරියගේ නිවස අසල ඉදිකිරීම් කර්මාන්තයක අත්උදව්කරුවෙකු ලෙස සේවය කර ඇති බවත්,

ඒ වන විට ඔහු 30 හැවිරිදි  වියේ පසුවී ඇති බවත් පැවසීය.
වින්දිත තරුණිය මේ වන විට උසස් අධ්‍යාපනයේ නිරතව උපාධියක් අපේක්‍ෂාවෙන් සිටින තමන්ට මානසික නිදහස හා අධ්‍යාපනය හැදෑරීම පමණක් අවශ්‍ය වී ඇතැයිද පැවසුවාය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු විනිසුරුවරයා දෙදරු පියෙකු වන විත්තිකරු සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන දැඩි අශිෂ්ට බරපතළ අපරාධයක් යැයි සඳහන් කළේය. දැරියගේ මව මීට වඩා විමසිලිමත් වූයේ නම් මෙම අපරාධය සිදු නොවීමට ඉඩ තිබුණු බවත්, දෙමවුපියන් සිය දරුවන් පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් කළ විනිසුරුවරයා තම වින්දිතභාවය නොසලකා ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණිය රටටම ආදර්ශයක් බවද සඳහන් කළේය. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඩුවම්  නියම කෙරිණි.


(බුද්ධිමාල් රුබේරු)