bambalapitiya-incident

සොරාගන්නා ලද ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු බම්බලපිටිය ප්‍රසිද්ධ විහාරස්ථාන භූම්යක සිටි වෛද්‍යවරියකගේ රන් මාලයක් කඩාගෙන පළාගොස් ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.  

වෛද්‍යවරිය පෙරේදා (3) පෙරවරු 7.30 ට පමණ විහාරස්ථානයට පැමිණ සිටියදී එහි සෙනග අතර සිටි පුද්ගලයකු එකවරම ඇගේ රන්මාලය කඩාගෙන පැනගොස් ඇති බවට පොලිසිය පැමිණිලි ලැබී ඇත. පන්සලේ සිටි පිරිස මාලය කඩාගත් පුද්ගලයා පසුපස හඹා යද්දී ඔහු ඒ ආසන්නයේ නවතා තබා ඇති ත්‍රිරෝද රථයක නැගී පළාගොස් ඇති බවත්, එම ත්‍රිරෝද රථය වැල්ලවත්ත ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී පොලිසිය සොයාගෙන මෙම සිද්ධියට දෙදෙනෙකු සම්බන්ධ වී ඇතිබවත්,

ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය එදින උදේ දෙහිවල ප්‍රදේශයේදී සොරාගෙන ගොස් ඇති එකක් බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන වෛද්‍යවරියගෙන් කොල්ල කෑ රන් මාලය රුපියල් ලක්ෂයකට ආසන්න බවට වෛද්‍යවරිය බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔවුන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇත.

( ඉන්දිකා රාමනායක )