yohani-chamath-sangeeth-t-series

ශ්‍රී ලාංකික ගායිකා යොහානි ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඇසුරින් පසුගියදා එම තනුවට හින්දි ගීතයක්ද නිර්මාණය වුණා. මේ හින්දි ගීතය නිර්මාණය වී තිබෙන්නේ අජේ දේව්ගන්, රකුල් ප්‍රීත් සිං සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟන Thank God චිත්‍රපටය සඳහායි.

මේ හින්දි ගීතයේ තනුව ලාංකික නිර්මාණයක් වීම වගේම, ගීතය තුළ තැනින් තැන සිංහල වචන ඇසෙන එකත් ලාංකික අපට ගෙන එන්නේ ආඩම්බරකාර හැඟීමක්.
මෙම ගීතය යොහානිගේ හඩින් ජනප්‍රිය වූ නමුත් සත්‍ය ලෙසම ඇය ගායනා කරන්නේ ගීතයේ මුල් අයිතිකරුගේ අවසරය අරගෙනයි. චමත් සංගීත්ට අයිති මෙම ගීතය චිත්‍රපටයක් සඳහා යොදා ගන්නට ඉන්දියානු TSeries ආයතනය ඔහුට ගෙවීම් කර තිබේ. මේ සමග පළවන්නේ මේ ගැන යොහානි සමග පැවති පුවත්පත් සාකච්ඡාවකි.




 ඉතින් එම නිසාම අප මේ ගැන කතා කරන්නට යොහානි ද සිල්වාව  අපේ කතාබහට සම්බන්ධ කර ගැනීමට සිතුවා. කොහොමද මේ දවස්වල ජීවිතේ?

හොඳින් ඉන්නවා. මැණිකේ ගීතයේ ප්‍රචාරණ කටයුතු එක්ක තරමක් කාර්යබහුලයි.

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි වර්ෂන් එකක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

ඒක දිග කතාවක්. මගේ කළමනාකරු ගොඩක් මහන්සි වුණා මේ වැඩේදී. මුලින්ම මැණිකේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය වනවිට ඔහු ලේබල් සහ කළමනාකරණ ආයතන කිහිපයක් සමඟ කතාබහ ආරම්භ කළා. මුලින්ම අපි Zee Live ආයතනයත් සමඟ ප්‍රසංග දෙකක් කරන්න අවස්ථාව සලසා ගත්තා. ඉන් පසුව මේ ප්‍රසංගය අවසාන කරලා අපි මුම්බායිවලට එන්න කටයුතු සූදානම් කරගත්තා. මේ අතරතුර සෝනු ලක්වානි සහ දිලංජන් සෙනෙවිරත්න යම් එකඟතාවකට පැමිණිලා තිබුණා.

මුම්බායිවලදී සෝනු ලක්වානි සමඟ අපි TSeries ආයතන ප්‍රධානි බුෂන් කුමාව මුණගැසුණා. මේ අවස්ථාවේ මම කරලා තිබෙන ගීත සහ Album එකේ තිබෙන ගීත ඔවුන්ට අහන්න සැලස්වුවා. පසුව ඔවුන් අපිට ඔවුන්ගේ ලේබලය සමඟ එකතු වීමට ආරාධනා කළා. මෙම සාකච්ඡාව 2021 සැප්තැම්බර් මාසයේ පටන් ගෙන 2022 මාර්තු මාසයේදී තමයි අවසාන කළේ. මගේ කළමනාකාරවරුන් දෙපළ මේ වැඩේදී ගොඩක් මහන්සි වුණා. මේ අතරතුර Recording කටයුතුවලට නිතරම ගමන් කිරීම අපහසු නිසා අපි මුම්බායිවල පදිංචියට පැමිණියා. කෙටියෙන් ඔහොම තමයි වැඩේ සිදුවුණේ. නමුත් අපි ගොඩක් මහන්සි වුණා.

ඔබත් සමඟ මේ හින්දි ගීතය ගයන්නේ හින්දි ගායකයෙක්. කොහොමද මේ අත්දැකීම?

ඒ අත්දැකීම විශේෂයි. ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

ගීතයේ අයිතිය ඔබ ඔවුන්ට ලබා දුන්නාද ඒ ගැනත් විස්තර කතා කරමු?

ඔව්. චමත් සංගීත්ට තමයි මෙම ගීතයේ අයිතිය තිබුණේ. මම දන්නා විදිහට ඔහු TSeries ආයතනයට ගීතයේ අයිතිය ලබා දීලා තිබෙනවා.

බොලිවුඩ් තරුවලට පසුබිම් ගීත ගායනා කරන්න ලැබෙයි කියලා කවදා හරි සිතුණාද?

නැහැ. ඒක කවදාවත් සිතපු නැති දෙයක්. මම ඉදිරියේදී පසුබිම් ගීත ගායනා කරනවාට වඩා ස්වාධීනව වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ.



ඉන්දියානුවන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් කතා කරමු?

ඔවුන් ඉතාමත් හොඳයි සහ සුහදශීලීයි. බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

මේ චිත්‍රපටයට ඇති වී තිබෙන නීතිමය ගැටලුව ගැන කිව්වොත්?


ඒ ගැන නම් මම ඇත්තටම දන්නේ නැහැ. නිර්මාණකරුවන් ඒ දේවල්වලට සම්බන්ධ වන්නේ නැහැ.

අතීතයේ හින්දි තනුවලට සිංහල ගීත නිර්මාණය වුණා. අද සිංහල තනුවකට සිංහල වචන එක්ක හින්දි ගීතයක් නිර්මාණය වෙලා. මේ ගැන කතා කළොත්?


ඇත්තටම ඒ ගැන නම් ආඩම්බරයි. ඉදිරියේදීත් ලංකාවේ නිර්මාණකරුවන්ට මේ වගේ නිර්මාණවලට සම්බන්ධ වීමට හැකියාව ලැබෙයි කියලා මම සිතනවා. නිර්මාණකරුවන් කිහිපදෙනෙක්ට හෝ ඉන්දියාවට පැමිණිලා වැඩ කරන්න පටන් ගන්න පුළුවන් නම්, ඔවුන්ට ඉන්දියාව තුළ බොහෝ අවස්ථා ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඉතින් එලෙස වැඩ කරන්න යම් කාලයක් ගතවනවා සහ ඒ සඳහා තරමක් මහන්සි වීමට සිදුවෙනවා. අපි මේ සඳහා වැඩ කිරීම ආරම්භ කළේ හරියටම මීට අවුරුද්දකට පමණ පෙර සිටයි.  

ගීතයට ලැබුණු ප්‍රතිචාර?

ඉතාමත් හොඳයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නිර්මාණයත් සමඟ තවත් නිර්මාණ කටයුතු කිහිපයකටම ආරාධනා ලැබුණා. ඇත්තටම මේ ගීතයට නොහිතපු ආකාරයෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් සංගීත නිර්මාතෘ චමත් සංගීත්ටත්, මුල් ගායනය සිදුකළ සහ මාත් සමඟ රැප් එක ගයනා කළ සතීෂාන් රත්නායකටත්, පද රචනා කළ දුලාන්ජ අල්විස්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදාහරින්න අවසරය දුන් හසිත් විතානගේටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම සිටින දිලංජන් සෙනවිරත්න ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනෑ.  

යොහානි ඉන්දියාවෙම පදිංචි වෙයිද?


ඉදිරියේදී හැකි සෑම අවස්ථාවකම අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. නමුත් ඉදිරි වැඩකටයුතු බොහොමයක් තිබෙන්නේ ඉන්දියාවේ නිසා මට ඉන්දියාවේ සිටින්න සිදු වෙයි.  



කාලෙන් කාලෙට එන විවේචන ගැන මොකක්ද කියන්න තිබෙන්නේ?


විවේචන ගැන කියනවා නම්, ඒවා ඉතින් අලුත් දෙයක් නොවෙයිනේ. පදනමක් තිබෙන විවේචනයක් නම් මම එය නිහතමානීව භාර ගන්නවා සහ එම වැරැදි හදාගෙන ඉදිරි වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ගොඩක් විවේචන එහෙම නැති නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?

මගේ ‘කෙල්ල’ ප්‍රසංගය කරන්න තිබුණේ මේ අවුරුද්දේ ජුනි මාසයේදීයි. නමුත් එම ප්‍රසංගය කල් දාන්න සිදුවුණා. එම ප්‍රසංගය කරන එක තමයි ඉදිරියට කරන්න තිබෙන මූලිකම නිර්මාණ කටයුත්ත.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

අලුත් කලාකරුවන් සමඟ අලුත් නිර්මාණ කටයුතු කරන්න තමයි මගේ  බලාපොරොත්තුව.

(කුශාන්ති අනුරාධා බණ්ඩාර - හද ගැස්ම)