වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවකු දින පහක් තිස්සේ අතුරුදන්ව ඇතැයි අනාවරණය වේ. වැලිකඩ බන්ධනාගාරයේ කාණු පද්ධති, මළ අපවහන ගලි සෝදිසි කරමින් මෙහෙයුම් කර ඇතත් සිරකරුට වූ දෙයක් ඊ​යේ (21 වැනිදා) වනතුරුත් සොයා ගැනීමට නොහැකි වී ඇත.

මත්ද්‍රව්‍ය වරදකට රුපියල් දෙදහසක දඩයක් ගෙවාගත නොහැකිව මාසයක සිර දඬුවමක් නියම වූ මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් ඇත්තේ ඉක්තු 16 වැනිදාය.

එදින අධිකරණයෙන් රැගෙන ආ සිරකරුවන් වෛද්‍යවරයා හමුවට පමුණුවන තුරු තාවකාලිකව රඳවා තබා වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ පසුව රාත්‍රී 8.00ට පමණ සිරමැදිරි වෙත යොමු කිරීමට සූදානම් වී ඇත.



එහිදී එක් සිරකරුවකු අඩු බව අනාවරණය වීමෙන් පසු රාත්‍රියේ සිට දිගින් දිගටම මෙහෙයුම් කළත් සිරකරුට සිදුවූ දෙයක් සොයාගත නොහැකි වී තිබේ. තාප්පයෙන් පැන්නාද යන්න සොයා ගැනීමටවත් කිසිඳු සාක්ෂියක් නොමැති බව බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මීට පෙර ඇතැම් සිරකරුවන් පැනයාමේ අදහසින් ගලි වළවල් තුළ අසූචි ගොඩවල් මැද පැය ගණන් සැඟවී සිටියදී පවා හමුවූවත් මෙම සිරකරු ගැන මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නොමැති බවද එම නිලධාරියා පැවැසීය. මෙම අතුරුදන්වීම වන අතරේ ඊට යාබදව පිහිටි මැගසින් බන්ධනාගාරයේ සැකකරුවන් දෙදෙනකු පැනයාමේ අරමුණින් බෝගසක හා පොල් ගසක උඩ සැඟවී සිටියදී සොයාගෙන තිබේ. මෙම සැරකරු අතුරුදන් වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ නියෝග මත වැලිකඩ බන්ධනාගාර අධිකාරි යටතේ විමර්ශනයක් අරඹා තිබේ.

(තිස්ස රවීන්ද්‍ර පෙරේරා)