tea-1000-salary

තේ වත්තේ වැඩ කර රුපියල් 1000ක වැටුපක් ලබාගන්නා බවත් එම වැටුපෙන් තම නිවසට අවශ්‍ය තිරිඟු පිටි කිලෝක් හෝ පාන් ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි තත්වයක් මේ වනවිට උද්ගතවී ඇති නිසා තමන් දැඩි පීඩාවට පත්වී ඇති බවත් වතු කම්කරුවෝ කියා සිටිති.

තේ වත්තේ වැඩ කරන තමන් දිනකට වේල් දෙකක් රොටී ඇතුළු තිරිඟු පිටි ආශ්‍රිත ආහාර අනුභව කරන බවත් එම ආහාර තම රැකියාව කරගෙන යාමට පහසු නිසා තිරිගු පිටි ආශ්‍රිත ආහාරවලට තම ජනතාව කාලයක් තිස්සේ පුරුදුවී සිටින බවත් වතු කම්කරුවෝ පවසති.

වතුකරයේ ජීවත්වන ජනතාව රොටියක් සහ පොල් සබෝලයකින් උදෑසන සහ දිවා ආහාරය සපයා ගන්නා බවත් එසේ පිළියෙළ කරන ආහාර තම දරුවන්ට ද ලබාදෙන බවත් වතු කම්කරුවෝ කියති. මිල අධික වුවද වෙළෙඳපොළේ තිරිගු පිටි මිලදී ගැනීමට නොමැති බවත් පවසන වතු කම්කරුවන් කියා සිටින්නේ ජීවන වියදම ඉහළ යාම හමුවේ තමන්ට වේල් තුනම බත් කෑමට නොහැකි බවයි. වතුකරයේ ජනතාවට තිරිඟු පිටි සහනාධාරයක් ලබාදෙන ලෙස වතු කම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

රංජිත් රාජපක්ෂ