seeduwa-temple-murder

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ එම පන්සලේ පොඩි හාමුදුරුවන් වන 19 හැවිරිදි ඒකල සුමනසිරි පොලිසිය හමුවේ පළකළ විස්තර අනුව ඝාතන සිද්ධිය සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.
පන්සලෙන් දුගඳක් හැමීම නිසා අසල්වාසීන් පොලිසිය හා එක්ව නායක හිමියන් ඝාතනයවී ඇති බව 14 වනදා හඳුනාගන්නා විට අතුරුදන්වී සිටි සුමනසිරි හිමියන් ඩුබායි බලා පළායාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ඊයේ (15) අලුයම අත්අඩංගුවට ගැනුණි.
EK 649 දරන ගුවන් යානයෙන් සැකකාර හිමිනම පාන්දර 3 ට පමණ මෙලෙස ඩුබායි බලා යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් සැකකරු කොටු කරගෙන වැඩිදුර විමර්ශන සඳහා සීදුව පොලිසියට භාරදී තිබේ.


සිදු කළ ප්‍රශ්න කිරීමේදී හිමි නම මුලින් කියා සිටියේ පොලිසිය නොමග යවන වෙනත් කතාවකි. එනම් මෙම ඝාතනය ඩුබායිහි සිට මෙහෙයවූ පාතාල වැඩක් බවයි. තමාට ඩුබායිහි සිටින කාන්තාවක දුරකථනයෙන් කථා කළ බවත් ලොකු හාමුදුරුවන් මරා දමන්නට කොන්ත්‍රාත්කරුවන් 4 දෙනෙකු පන්සලට එවන බවත් ඊට සහය වන ලෙස තර්ජනය කළ බවත් සුමනසිරි හිමියන් පැවසූ අතර ඊට තමා බියෙන් එකඟවූ බවත් පවසා තිබේ. ඒ අනුව පිරිමි 3 ක් හා එක් කාන්තාවක 14 වනදා දහවල් පන්සලට පැමිණ හිමියන් මරාදැමූ බවත් පසුව පන්සලේ වස්තුව හා වාහන දෙකද කොල්ලකා පළාගිය බවත් සුමනසිරි හිමියන් කියා සිටියේය.නායක හිමියන් ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇති බවද තමා ඊට සම්බන්ධ නැති බවද කියා සිටියේය.
කෙසේ වෙතත් සාක්ෂි සොයාගෙන සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සුමනසිරි හිමියන් කියන්නේ බොරුවක් බව පොලිසියට ඒත්තු ගිය අතර ඇත්තට සිදුව ඇති දේ ගැන තොරතුරු වමාර ගන්නට හැකියාව ලැබී තිබේ.

තමා පෙම් සබඳතාවක් පැවැත්වූ බව කියන තරුණිය ඩුබායිහි වාසය කරන බවත් තරුණියගේ මව හා පියා සමග එක්ව අදාළ ඝාතනය සිදුකළ බවත් සුමනසිරි හිමි පොලීසිය හමුවේ පාපෝච්චාරණය කර තිබේ.

පසුගිය 12 වනදා දහවල් කාලයේදී ගෙල සිරකර විහාරාධිපති හිමිනම ඝාතනය කළ බවත් අනතුරුව දුගඳ හැමීම වැළැක්වීමට සහ පොලිස් නිල සුනඛයන් නොමඟ යැවීමට දේහයට මිරිස් කුඩු ගැසූ බවත් සැකකාර භික්ෂුව පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

පොලිසිය පවසන අන්දමට නැඳගමුවේ මහානාම හිමියන් ඝාතනය කර ඇත්තේ ලැගුම්ගෙය තුළදී මුඛයට සිවුරක් ඔබා ගෙල ඇඳ ඇතිරිල්ලකින් ගැට ගැසීමෙනි.



අනතුරුව එදිනම ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 135කටත් ඊයේ දිනයේදී වැගන්ආර් රථය රුපියල් ලක්ෂ 54කටත් වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කළ බවත් සැකකාර භික්ෂුව පොලීසිය හමුවේ අනාවරණ කර තිබේ.එම මුදලින් කොටසක් ඩුබායි රාජ්‍යය වෙත යවා ඇති බවත් හෙළි වී තිබේ.

පසුව සැකකාර භික්ෂුව ඝාතනය සිදුකිරීමට එක්වූ යුවළ සමග මුදල් ද රැගෙන පෙරේදා (14) දහවල් විහාරස්ථානයෙන් පළාගොස් තිබුණි.
සැකකාර හිමිනම ඩුබායි බලා පැන යෑමට ප්‍රථම සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නතරව සිට ඇතැයිද පොලිසිය කියයි.
පොලිසිය මේ වනවිට කර ඇති මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ මහානාම හිමියන් ඝාතනය කිරීමට පෙර සැකකාර හිමිනම ඩුබායි බලා යෑම සඳහා අවශ්‍ය ලියකියවිලි ගුවන් ගමන් බලපත්‍ර සියල්ල සූදානම් කර තිබූ බවය. එම වීසා ලබාගැනීම ටිකට්පත් ලබාගැනීම ඇතුළු සියලු කටයුතු ඩුබායි පෙම්වතිය එහි සිට මෙහෙයවා සිදුකර තිබේ.

ඩුබායි සිටින පෙම්වතිය මින් ඉහත මෙරට මුස්ලිම් ජාතිකයකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය ඩුබායි රාජ්‍යයට යවා ඇත්තේද එම මුස්ලිම් ජාතිකයා විසින් බව මේවනවිට හෙළිවී තිබේ. කෙසේ වෙතත් ඇය එහිදී මුස්ලිම් පෙම්වතා අතහැර හිමියන් හා සම්බන්ධය නැවත අරඹා ඇති බවත් එක වහළක් යටට ඒමට ඝාතනය සිදුකර වස්තුව කොල්ලකෑමට සැලසුම් කර ඊට ඇගේ මාපියන්ගේ සහය ඉල්ලා තිබූ බවත් වාර්තාවේ.


ඒ අනුව සැකකාර යුවළ ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
රථ දෙක විකුණා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙන්නෙකුටය.
ඩිපෙන්ඩර් රථය මිලට ගත් පුද්ගලයා එම රථය තවත් පිරිසකට රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයකට අලෙවිකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
සිද්ධිය වූ විහාරස්ථානය වෙත වැඩම කර සිටි හිමිනමක කියා තිබුනේ “විහාරාධිපති හිමිනම ළඟ අවුරුදු පහේ සිට හදාගත්තු දරුවෙක් තමයි මේ මහණ කරලා තිබෙන්නේ. මේ විහාරස්ථානයේ තිබුණ ඩිෆෙන්ඩර් රථය ඇතුළු විහාරස්ථානයේ සියලුම දේපළ විහාරාධිපති හිමියන් මේ ගෝල හිමිනමට ලියලා තිබුනා කියලයි අපිට ආරංචි වෙලා තියෙන්නේ.මෙහෙම මරපු එක අපරාධයක්‘
ඝාතනයට ලක්වූ නැඳගමුවේ මහානාම විහාරාධිපති හිමිනම බොදු බල සේනා සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක හිමිනම බවද වෘත්තියෙන් ගුරු උපදේශකයෙකුවූ බවද වාර්තා විය.