sapugaskanda-ot

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් වසා දමා අවසන් වරට කළ නඩත්තුවේදී සේවකයන්ට වැඩිපුර ගෙවා ඇති රුපියල් කෝටි හතහමාරක අතිකාල වියදම් යළි අයකර ගැනීමට තෙල් සංස්ථාව තීරණය කර ඇත.

පිරිපහදුවේ සේවය කරන සේවකයන් එක්දහස් එකසීයට අධික පිරිසකගේ වැටුපෙන් එම මුදල අඩු කිරීමට සංස්ථාව උපදෙස් දී ඇත.

ඛනිජ තෙල් සංස්ථාවේ විගණනයකින් පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මේ සම්බන්ධ උපදෙස් ලබාදී ඇත.



ඒ අනුව එක් සේවකයකුගේ වැටුපෙන් රුපියල් පනස්දහසත්, හැත්තෑදහසත් අතර මුදලක් මේ මාසයේ වැටුපේ සිට අයකර ගැනීමට යෝජනා වී ඇත.

2021 මුල් කාර්තුවේ පිරිපහදුව නඩත්තුව (Shutdown) සඳහා මාස එකහමාරක් පමණ වෙන්කර තිබී ඇත. එම නඩත්තුව සිදුවන අතරතුර රටපුරා කොවිඩ් වයිරසය ව්‍යාප්තවීමත් සමග මෙම කාර්යයට එක්වූ පිරිපහදු සේවකයන් 600 ක්ද කොවිඩ් වැලඳී රෝහල්ගත කර ඇත.

නඩත්තු කාර්යයේ අවසන් අදියර දක්වා සේවකයන් එම කාර්යයට එක්ව ඇතත් පිරිපහදුව යළි ක්‍රියාත්මක කර එහි ගිනිදැල්ල ඉහළට එසවීමට පෙර කොවිඩ් වැලඳුණු අයටද මෙහිදී අතිකාල ගෙවීමට තීරණය කර ඇත.

එම ගෙවීමට එරෙහිව ලද පැමිණිලි මත කළ විමර්ශනයකින් පසුව අතිකාල ගෙවූ මුදල් කපා ගැනීමට තීරණය කර තිබේ.



මේ තීරණය සම්බන්ධව කළමනාකාරීත්වය හා සේවකයන් අතර ඊයේ (22) දිනයේත් සාකච්ඡා පැවැත්විණි.

යම් හෙයකින් වැටුපෙන් අදාළ මුදල් කපා ගැනීමට පියවර ගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සේවකයන් කළමනාකාරීත්වයට දන්වා ඇත.

සේවකයන් පවසන්නේ තමන් වැඩිපුර අතිකාල ලබා නොගත් බවත්, සේවය කළ කාලයට වැටුප් ලබාගත් බවයි. කොවිඩ් හේතුවෙන් සැලසුම් කළ ආකාරයට පිරිපහදුව නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ බව ඔවුන් පවසයි.

(මධුභාෂණ හේරත් - aruna)