pention-60-health-education-effect

විශ්‍රාම වයස් සීමාව අවුරුදු හැට ලෙස ක්‍රියාත්මක කිරීමේ තීරණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල මෙන්ම පළාත්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීහු රැසක් එකවර විශ්‍රාම යති. අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු හය දෙනාගෙන් සිව් දෙනෙක්ද විභාග කොමසාරිස් ජනරාල් හා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් මෙන්ම ඌව සහ මධ්‍යම හැර සෙසු පළාත්වල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු හත් දෙනාද මේ අතර වෙති.



මීට අමතරව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු පිරිසක්ද විශ්‍රාම යති. අධ්‍යාපන විද්‍යාපීඨ කොමසාරිස් හා ජාතික පාසල් අධ්‍යක්ෂ යන තනතුරු දරන නිලධාරීන් මෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක, කොළඹ ඩී.එස්. සේනානායක, කුරුණෑගල මලියදේව ඇතුළු පාසල් කිහිපයක විදුහල් ප්‍රධානීහුද නව තීරණය අනුව විශ්‍රාම යා යුතුය. අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම විදුහල්පති සේවයේ නිලධාරීහුද එලෙස විශ්‍රාම ලබන්නන් අතර සිටිති.

නව තීරණය හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු නොකළහොත් බරපතළ තත්ත්වයක් උද්ගත විය හැකි බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක්ද  ඊයේ (31 වැනිදා) පැවසීය.



මේ අතර රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සිමාව අවුරුදු 60 දක්වා පහත හෙළීමත් සමග රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් රැසකටම විශ්‍රාම යාමට සිදුවීමෙන් රෝගී සත්කාර සේවාවෙන් සැලකිය යුතු ලෙස බිඳවැටෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 60 දෙනෙකු ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් රැසකම විශේෂඥ වෛද්‍යවරුන් මේ අනුව විශ්‍රාම යාමට නියමිතව ඇතැයිද එසේ වුවහොත් රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවන් මතුවනු ඇති බවද අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ප්‍රධාන රෝහල්වල පුරප්පාඩුවන විශේෂඥ තනතුරු පිරවීම සඳහා අයැදුම්පත් කැඳවීමත් සමග පර්යන්ත රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රධාන රෝහල්වල සේවයට පැමිණීමත් සමග පර්යන්ත රෝහල්වල රෝගී සත්කාර සේවාවන් කඩාවැටීමකට ලක්වෙනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කරයි.

එ‌සේම මේ වන විට විදේශ ගත වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේද යම් ඉහළ යාමක් සිදුවනු ඇති බැවින් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් අඩාළ වීමට එයද හේතුවන බවද වෛද්‍ය පනාපිටිය පැවසීය.



සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු 20ක් සිටින අතර ඉන් තනතුරු 17ක් ම මේ අනුව හිස්වනු ඇත. මොවුන් විශ්‍රාම ගිය පසුව එම තනතුරුවල සේව‌ය කිරීමට දෙවන පෙළ කණ්ඩායමක් පුහුණු කර නොමැති වීමෙන් සේවා කටයුතු මුළුමනින්ම බිඳවැටීමට හැකි බවද අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 60 දක්වා පහත හෙළීම හේතුවෙන් පහළ ශ්‍රේණිවල සිටින වෛද්‍යවරුන් රැසක්ම සිය සතුට පළ කර ඇති බවත් සඳහන් වේ.

(නිලන්ත මදුරාවල,  ශ්‍රියානි විජේසිංහ - අරුණ)