nelum-kuluna-sept-15

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන 'නෙළුම් කුලුනේ" මෙහෙයුම් කටයුතු එළඹෙන සැප්තැම්බර් 15වැනිදා සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට 'කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම කටයුතු යොදා ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය. නෙළුම් කුලුනේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර, 2022 වසරේ පෙබරවාරී 28වැනිදා ඉදිකිර්ම අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී. මේ  සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 88.65ක් ලබාදී ඇති අතර, ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබේ.



මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936ක් මේ වනවිටත් ගෙවා අවසන් බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළේ. කොළඹ, නෙළුම් කුලුන පෞද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මෙම වසරේ මාර්තු මාසයේදී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කෙරේ.ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය. මේ වන විට දේශීය ආයෝජකයන් 80%ක් හා විදේශීය ආයෝජකයන් 20%ක් නෙළුම් කුලුන සඳහා ආයෝජනයට එක්ව ඇති බවද සමරසිංහ මහතා අනාවරණය කළේය. මේ වනවිට ආයෝජකයන් 58ක් සමග සාකච්ඡා කර ඇති අතර, ඉන් ආයෝජකයන් 22ක් සමග ගිවිසුම්වලට එළඹීමට කැමැත්ත පළ කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේ. මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වන විටත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිර්මට සැලසුම් කර තිබෙන බවද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ජනතාවගේ ඉල්ලීමට සරිලන අයුරින් නව තාරුණයේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ තෝතැන්නක් බවට නෙළුම් කුලුනේ මෙහෙයුම් සන්නද්ධ කර ඇති අතර, එයට අක්කර 10.5ක භූමි භාගයක් අයත් වේ. මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ඕනෑම පුද්ගලයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය. ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2,000ක් වන අතර, විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ. රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා ඕනෑම පුද්ගලයෙකුට පෝලීම්වල රැදී නොසිට පයට ඇතුළු විය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුලුනේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා පුද්ගලයෙකුට කුලුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR ක්තයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.නෙළුම් කුලුන නැරඹීමට  පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවල සහ සමරු වෙළෙඳ සැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක්ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. පළමු මහළ කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර, ඩිජිටල් සිනමා ශාලාවක්ද මෙහි පවතී.

ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත එහි වර්ග අඩි වශයෙන් කුලී පදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ. තුන්වැනි මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර, ඒහි පුද්ගලයන් 400කට  පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, එහි ඉහළ මහල කැරකෙන අවන්හලකින් සමන්විතය. ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුලුන සතු වන අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මෙම සියලුම අත්දැකීම් එළඹෙන 15වැනිදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතය.


(නවොදයා පවනි)