money-waste

ජාතික අධ්‍යාපන කොමිෂන් සභා කාර්යාල  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර් යාල කාමරයකට රැගෙන යාමෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ හැත්තෑ දෙකකට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. හිටපු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව රාජ්‍ය  ආයතන රජයේ ගොඩනැගිලිවල ස්ථාපිත කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීම පරිදි, මෙසේ කටයුතු කළ බවට කොමිසමේ නිලධාරීන් විගණනයට දැනුම් දී ඇති බව ද එම වාර්තාවේ  සඳහන් වේ.



එම වාර්තවට අනුව මෙම කාර්යාලය පසුගිය ජුලි 1 වැනිදා දක්වා නුගේගොඩ නාවල පාරේ වර්ග අඩි 10,000කින් යුත් ගොඩනැගිල්ලක මනා ඉඩකඩක් සහිතව පවත්වාගෙන ගොස් ඇති අතර, එහි මාසික කුලිය රුපියල් 6,50,000කි.  එහෙත්, පසුව එය වර්තමාන ස්ථානය කරා රැගෙන ගොස් ඇත්තේ , මාසිකව රුපියල් 14,24,400ක කුලියක් ගෙවලිනි.  එතරම් කුලී මුදලක් මාසිකව ගෙවා ඇති නමුත්, එහි ඉඩකඩ කලින් ගොඩනැගිල්ලේ ඉඩකඩෙන් අඩකටත් වඩා අඩු බවත්,

වර්තමාන කාර්යාලයේ  ප්‍රමාණය වර්ග අඩි 4,748ක් බවත් විගණන වාර්තාවේ සඳන් වේ.

අඩු කුලියකට වැඩි ඉඩ පහසුකම් සහිතව පවත්වාගෙන යා හැකිව තිබියදී, ඉන් අඩකටත් වඩා අඩු ඉඩක් සහිත ස්ථානයකට මෙම කොමිෂන් සභා කාර්යාලය රැගෙන යාමෙන් රුපියල් 71,84,596ක අමතර වියදමක් වාර්ෂිකව වැය කරන බව ද වෙළෙඳපොළේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගනිමින් වඩාත්ම ඵලදායි හා වාසි සහගත ගිවිසුම්වලට එළැඹිය යුතුව තිබියදී කළමනාකාරිත්වය මෙසේ කටයුතු කිරීම සුදුසු නොවන බව ද එම වාර්තාවේ දැක්වේ.


 මුදිතා දයානන්ද