minister-son-vehicle

ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිට දී සිසුන් දෙදෙනකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇමැති පුතා පැමිණ ඇති කළු පැහැති මෝටර් රථය කර්මාත්ත හා වාණිජ කටයුතු අමත්‍යංශය යටතේ ලියාපදිංචි කළ වාහනයක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුතාට බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.

 රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් 26 වැනිදා රාත්‍රි 2.00ට පමණ ඔහුගේ මිතුරන් සිවුදෙනකු ද සමග උපකාරක පන්තිය ඉදිරිපිටට පැමිණ එහි සිටි සිසුන් දෙදෙනකුට පහර දී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කර තිබූ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිද්ධියට මුල් වූ අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පස් දෙනකු මෝටර් රථය ද සමග පොලිස් බාරයට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි.



සිද්ධියේ තුවාලකරුවන් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්වය බරපතළ නොවීම හේතුවෙන් සැකකාර ඇමැති පුතා ඇතුළු පස් දෙනා පොලිස් ඇප මත මුදාහැරිය බවත් එම උසස් නිලධාරියා කීය. මෙම පහර දීම සඳහා ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් සහභාගි වී ඇති බවට වාර්තතා වුවද ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරික්ෂ කිරිමේ දී කිසිදු ඩිෆෙන්ඩර් රථයක් පැමිණි බවට සටහන් වී නොමැති බවත්, මෙම තරුණයන් පස්දෙනා හැර වෙන කිසිදු පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණි බවට හෙළි වී නොමැති බවත් පොලිස් ආරංචිමාර්ග කියයි. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ වාර්තා ලැබුණු පසුව සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

(ඉන්දිකා රාමනායක)