The-son-who-killed-his-father-with-a-spade-and-burnt-him-and-was-hiding-was-arrested

හෝකන්දර - දකුණ ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී සිය පියා ඝාතනය කර සැඟව සිටි 26 හැවිරිදි පුත්‍රයකු අද දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෝකන්දර දකුණ විනරාජ මාවතේ නිවෙසක් තුළ ඊයේ (28) අලුයම ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම පුත්‍රයා උදැල්ලකින් පහරදී පියා ඝාතනය කර තිබූ අතර නිවස ඉදිරිපිටම පියා පුළුස්සා ඇතැයි මාලබේ පොලිසිය කියයි.
ඝාතනයෙන් පසු අතුරුගිරිය ප්‍රදේශයේ සැඟව සිටි පුත්‍රයා සෙවීමට  පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන කළ අතර අද  අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
 පියා උදැල්ලෙන් පහරදී ඝාතනය කරද්දී වැළැක්වීමට ගිය මවටද ඔහුගේ පහර වැදී තිබූ අතර මේ වන විට තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.ඇයගේ දෑත්වලට හානි සිදුව ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු මෙම ඝාතකයා පුනරුත්ථාපනය සඳහා යොමුකර යළිත් ඉන් පිටව ආ අයෙකු බවත් මත්කුඩු ලබාගැනීමට බැරිව දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ගැටුම් ඇතිකර ගැනීම නිරන්තරයෙන් සිදු කළ බවත් පැවසිණි.


ඊයේ අලුයම මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා මුදල් ඉල්ලා පියා සමඟ ඇතිකර ගත් කතාබහක් දුරදිග යාම හේතුවෙන් උදළු පහර සිදු කර ඇති අතර එයින් නොනැවතී පියාගේ සිරුර සමග කෝපයෙන් එය නිවස ඉදිරිපිට ම්ලේච්ඡ ලෙස ගිනි තබන්නටද ඔහු කටයුතුකර තිබුණි.
 මෙම ආරවුල බේරීමට ඉදිරිපත් වූ තවත් අයකුද කැපුම් තුවාල ලබා අයි.ඩී. එච්. රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ රංජිත් සේනාරත්න නමැති දෙදරු පියෙකි.
 57 හැවිරිදි ඔහු ත්‍රීරෝද රථ රියදුරකු වශයෙන් කටයුතු කරමින් සිටියේය. මෙම සැකකරු මව සහ පියා සමග මෙම නිවෙසේ පදිංචිව සිටින බවත්, දියණිය විවාහ වී ඒ ආසන්නයේ නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය පවසයි.
අයිස් මන්ද්‍රව්‍ය පානය කිරීම සම්බන්ධයෙන් පෙරේදා රාත්‍රියේ සිටම මව සහ පියා සැකකරුට බැණ වදින හඬ සහ ඔවුන් බහින් බස්වන අයුරු අවට පිරිසට ඇසී ඇත.
අලුයම 3 ට පමණ ද නිවෙස දෙසින් පහර දෙන හඬ හා මවගේ සහ පියාගේ කෑ ගැසීම ඇසී අවට පිරිස් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී ඇත.
සැකකාර පුතා මව්පියන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පුතා තියුණු ආයුධයකින් පියාට පහර දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ආරවුල දුරදිග ගොස් සැකකාර පුතා නිවෙස ඉදිරිපිට මිදුලේ තිබූ උදැල්ලකින් ද පියාට පහර දී තුවාල සිදුකර ඇති බවත්, පුතාගෙන් බේරීම සඳහා පියා නිවෙසේ සිට මීටර් 25 ක් පමණ ගේට්ටුව දෙසට දිව ගොස් ඇති බවත් පොලිසිය කියයි. පුතා පියා පසුපස හඹාගොස් පියාට පහර දී ඇති අතර, එම ප්‍රහාරයෙන් බිම වැටුණු පියාගේ සිරුරට පුතා කිසියම් ඉන්ධනයක් දමා ගේට්ටුව අසලදී ගිනි තබා ඇති බවද පොලිසිය කියයි.
අවට සිටි පිරිස නිවෙස වෙත පැමිණෙමින් සිටියදී නිවෙසේ ගේට්ටුව අසල ගිනි ජාලාවක් හටගෙන තිබෙනු දැක ඇති අතර , සැකකරු ද එම ස්ථානයේ සිටිනු දැක ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් විමසීමේදී කුණු වගයක් ගිනි තැබූ බව ඔවුනට ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.