
විදේශවල සිට පැමිණන මෙරට ජනතාවට අඩු මුදලක් ගෙවා තම නිවෙස් වෙත යාමට හා සංචාරකයන්ට අඩු මුදලක් ගෙවා දිවයින පුරා සංචාරය කිරීම සඳහා නව බස් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. විදේශ රටවල සිට පැමිණන මෙරට ජනතාවට ගුවන්තොටුපොළේ සිට නිවෙස් වෙත යාමට වාහනයක් ලබාගැනීමේදී අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත්, මීට අමතරව පවතින ඉන්ධන අර්බුදය නිසා අධික මුදලකටවත් වාහනයක් සොයා ගැනීමට නොහැකි වන අවස්ථා තිබෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මේ අනුව කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ දක්වා බස් රථ සේවාවක් හා බැස්ටියන් මාවතේ සිට පිට පළාත් සඳහා සුබෝපභෝගී බස් රථ යෙදවීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය. මෙම සාකච්ඡාවලදී අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා එකඟ වූ බවත්, කන්ටේනර් පෙට්ටි යොදාගෙන නිවෙස් කිහිපයක් බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අසල සකස් කර මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ සංචාරකයන්ට සුළු කාලයක් විවේක ගැනීමට ස්ථානයක් සකස් කිරීම පිළිබඳවත් යම් එකඟතාවකට පැමිණි බවද සභාපතිවරයා පවසා සිටියේය.
මීට අදාළව සකස් කළ යෝජනාවලිය මේ මස 07වැනිදා ප්‍රවාහන අමාත්‍යවරයාට හා සංචාරක අමාත්‍යවරයාට භාරදීමට කටයුතු කරන බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපොළ ආසනයට බස් රථ රැගෙන යාමට අදාළ අවසර ලබාගැනීමත් සිදුවන නිසා ගුවන් මගීන් රැගෙන එන භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීමේදීත් ගැටලු ඇති නොවන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ ආකාරයට සකස් කරන බස් රථ සේවා තුළින් පිට පළාත්වල සිට ගුවන්තොටුපොළට පැමිණ පිරිස්වලට හා විදේශීය සංචාරකයන්ටත් කිසිදු ගැටලුවක් නොමැතිව ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බවත්, ගුවන්තොටුපොළ සිට බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අතර ධාවනය වන බස්රථ හා කොළඹ සිට පිට පළාත්වලට ධාවනය වන බස් රථ ඒකාබද්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය.
(එච්.අයි. තුෂාර)
Comments
Post a Comment
Your comment will be visible after approval