kareinagar-spain-lover-incident

යාපනය කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට පෙම්වතා සමග පැමිණි බව කියන ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කරන්නට උත්සාහ කරනලද තරුණයන් 13 දෙනකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


තම ශ්‍රී ලාංකික පෙම්වතා හමුවීමට ලංකාවට පැමිණි බව කියන මෙකී විදෙස් තරුණිය පසුගිය 22 වැනිදා යතුරුපැදියකින් සිය පෙම්වතා සමගින් කාරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය නැරඹීමට ගොස් තිබේ.
ප්‍රදීපාගාරයට යාබද පාළු ප්‍රදේශයක තණ භූමියක් පවතින අතර එහි එම අවස්ථාවේ තරුණයන් පිරිසක් මත්පැන් පානය කර සිටි බව කියැවිණි. එක් තරුණයකුගේ උපන්දිනයක් සමරමින් මෙම මත්පැන් සාදය පැවති අතර රූමත් ස්පාඤ්ඤ තරුණිය ප්‍රදීපාගාරය බලන්නට ආ හැටි දැක ඊට වසඟවූ තරුණයින් ඇයව කැලෑවට ඇදගෙන යන්නට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ ඇගේ පෙම්වතා ඊට විරෝධය දක්වද්දී ඔහුව තල්ලු කර තර්ජනය කරමින් තරුණියට අතවර කරන්නට උත්සාහ ගෙන තිබේ.
සල්ලාලයන් සමගින් පොරබදිමින් පෙම්වතිය බේරාගත් තරුණයා පෙම්වතිය ද යතුරුපැදියේ නංවා එතැනින් පලා එන්නට සමත් වූ බව පැවසේ. අනතුරුව කාරෙයිනගර් පොලිස් මුරපොළ වෙත ගොස් මේ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර ඇත.


මුරපොළේ නිලධාරීන් කයිට්ස් පොලිසියට දැන්වූ පසුව පැයක් ගතවීමට මත්තෙන් සැකකරුවන් දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පළාගිය තිදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ඔවුන් 23 වැනිදා කයිට්ස් පොලිසිය වෙත භාර වී තිබේ.

සැකකරුවන් 13 දෙනාම කාරෙයිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර නියෝග කර ඇත.