johnston-mahindananda-cabinet-delay

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ දැනට පත් කර තිබෙන කැබිනට් ඇමති ධූර සංඛ්‍යාව 20 ක් වන අතර තවත් 10 කට පමණ පරප්පාඩු පවතී. මෙම දස දෙනාට පත්වීම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද වෙමින් පවතින්නේ පොහොට්ටුව නම් කර එවා ඇති ලැයිස්තුවේ තිබෙන නම් කිහිපයකට ජනපති රනිල්ගේ පාර්ශ්වයෙන් අකමැත්ත පළවීම නිසාය.


මෙම නව කැබිනට් ඇමති ධූර අපේක්ෂකයින් අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ,රෝහිත අබේගුණවර්ධන,දුමින්ද දිසානායක,ඒඑම්එල් අතාවුල්ලා, නාමල් රාජපක්ෂ ඇතුළු නම් 11 ක් පමණ ඇතුළත්ව තිබෙන බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
පසුගිය සිකුරාදා වනවිට නාමල් රාජපක්ෂගේ නම ඔහු විසින්ම ඉවත් කරගත් බවත් කිසිදු කැබිනට් ඇමති ධූරයක් තමා අපේක්ෂා නොකරන බව දන්වා සිටි බවත් වාර්තා විය.
මේ අතර රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය යෝජනා කර ඇත්තේ මෙම අයගෙන් දෙන්නෙකුගේ දිවුරුම්දීමේ කටයුත්ත ඔවුන්ට සමාජය තුළ පවතින අප්‍රසාදය මත දැන්ම සිදුකරන්නට බැරි බවයි. විශේෂයෙන්ම ජොන්ස්ටන් හා මහින්දානන්ද විවිධ චෝදනාවන් නිසා නිරන්තරයෙන් කතාබහට ලක්වීම කරණකොට ඔවුන්ට යම් තනතුරක් දැන්ම ලබාදීමට නොහැකි බවත් කොටස් දෙකක් ලෙස ඉහත ලැයිස්තුවේ අය පත් කර මහජන විරෝධය අවම කාලයක අප්‍රසාදිත අයගේ දිවුරුම දෙවනුව සිදුකරන්නට හැකි බවද දන්වා ඇත.
කෙසේ වෙතත් පොහොට්ටුවේ මතය වී ඇත්තේ එකවර දිවුරුම්දීම අවශ්‍ය බවයි.

මේ නිසා හැලහැප්පිලි හා මත ගැටුම් මේ දිනවල පවතින බවත් දිවුරුම් දීම දිනෙක් දින ප්‍රමාදවීමට හේතුව එය බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
අරගලයෙන් පසු ඇතිවූ දේශපාලන වෙනස සමග ජනපති ගෝඨාභය වෙනුවට රනිල් වික්‍රමසිංහ පත්වූ පසුවත් ආණ්ඩුවක් ලෙස තවමත් බලය දරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අතර ඔවුන් එවන ලැයිස්තු අනුමත කිරීම හැර ‘පද්ධති වෙනසක්‘ සිදුකිරීමට නව ජනපතිවරයාට අවශ්‍යතාවක් හෝ හැකියාවක් නැති බව එම ලැයිස්තුවල අන්තර්ගත පුද්ගලයින් තුළින් පෙන්නුම් කර තිබේ.