colombo-train-delay-due-to-cgr-trip

යාපනයේ සිට කොළඹ බලා ඉකුත් 14දා ධාවනය වූ 4090 දරන රාත්‍රි දුම්රිය විනෝද ගමනක් ගිය දුම්රිය වෘත්තිය සමිති නායකයන් පිරිසක් එනතුරු නියමිත වේලාව පසුකර විනාඩි 30ක් නවතා ගෙන සිට ඇති බවත් මේ නිසා කොළඹට පැමිණීමට පැය එක හමාරක් ප්‍රමාද වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



එම දුම්රිය රාත්‍රි 7ට යාපනයෙන් පිටත් වීමට නියමිතව තිබූ නමුත් මෙම වෘත්තිය සමිති නායකයන් පිරිස පැමිණෙන තුරු යාපනය දුම්රිය ස්ථානයේ නවත්වා ගෙන සිට තිබේ. එය පෙරවරු 4ට කොළඹට පැමිණීමට නියමිතව තිබූ නමුත් කොළඹට ළඟාවන විට පෙරවරු 5.30 වී තිබිණි.

මෙම වෘත්තිය සමිති නායකයන් පිරිස අතරින් එක් අයෙක් කුරුණෑගලදී බැස ගොස් ඇති බවත් අනෙක් පිරිස කොළඹ කොටුව තෙක් පැමිණ ඇති බවත් වාර්තා වේ.

පොදු ප්‍රවාහන සේවයක් වන දුම්රිය කාලසටහන මෙසේ පෞද්ගලික වුවමනාවන් මත වෙනස් කිරීමට කටයුතු කිරීම නීත්‍යනුකූල නොවන අතර සදාචාරාත්මක නොවන බව මගීහු පවසති.



මේ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරි කුමාර ගුරුසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධව තමන් දැනුවත් නැති බවත් ඒ ගැන සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් වෙත භාර දෙන බවත්ය.

විනීතා එම්. ගමගේ