colombo-kandy-weekend-train

කොළඹ කොටුව- මහනුවර අතර සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් හෙට (1) සිට ධාවනය වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කලින් ආසන වෙන්කිරීමට හැකියාව ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය මහනුවර වෙත සෑම සතිඅන්තයකදීම ධාවනය වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති “දුම්රිය ඉදිරි සැලසුම් සහ නව දුම්රිය ගමන්වාර ආරම්භ කිරීම" යන මැයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පෙරවරු 6.30 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන නව දුම්රිය පෙරවරු 9.18 ට මහනුවරට ළඟා වන අතර නැවත මහනුවරින් සවස 4.50 ට පිටත් වී රාත්‍රී 7.40 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිතය.



මහනුවර දක්වා එක් ගමන්වාරයකදී පළමු පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 2000ක් වන අතර දෙවැනි පන්තියේ ප්‍රවේශපත්‍රයක ගාස්තුව රුපියල් 1500 ක් බවද අමාත්‍යවරයා කීය. පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සතිඅන්ත සංචාරවල යෙදුනු පිරිසට තිබූ බාධාව ඉවත් කරමින් සතිඅන්ත සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ ඇති බවත් ඔහු පැවසීය. එහි පළමු දුම්රිය ලෙස ඇල්ල ඕඩීසි සංචාරක දුම්රිය ඉකුත් සති අන්තයේ ආරම්භ කළ බවත්, ඉදිරියේදී මෙම දුම්රිය සතියකට දෙවරක් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බවත් හෙතෙම කීවේය. ඉදිරියේ දී අනුරාධපුරය දක්වා සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී  දැනුම් දීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.

නිමල කොඩිතුවක්කු