අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තිදරු මවක ඝාතනය කිරීම සඳහා ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයකු විසින් මෝටර්  රථයකින් පැහැරගෙන යනු ලබමින් සිටියදී දක්ෂිණ අධිවේග මාර්ගයේ - බද්දේගම ප්‍රදේශයේදී පොලිසිය අහසට සහ වාහනයට වෙඩි තබමින් මහත් පරිශ්‍රමයක් යොදා එම කාන්තාව ඊයේ (14) පෙරවරුවේ බේරා ගත්තේය.

මන්නා පිහි පහර කිහිපයකින් ඒ වනවිටත් තුවාල ලබා මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි එම කාන්තාව පොලිසිය විසින් බේරාගනු ලැබුවේ මෝටර් රථයේ පිටුපස දොරක් සහ වීදුරු කැඩීමෙනි. මෙම කාන්තාව මෝටර් රථයේ පිටුපස අසුනේ දමා තවත් පුද්ගලයකු ඇයගේ මුව අතින් වසාගෙන සිටිනු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ පිටව යන ස්ථානයේ සිටි පොලිස් නිලධාරියකු දැක ඇත.




පසුව එම නිලධාරියා බද්දේගම මංසන්ධියේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ට මේ බව දැනුම් දී ඇති අතර, එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් සැකකරුවන් හා කාන්තාව සිටි කහ පැහැති මෝටර් රථය පසුපස කිලෝමීටරයක් පමණ දුරක් හඹාගොස් ඇතැයි පොලිසිය කියයි. පොලිසිය එම රථය අසලට යන අවස්ථාවේදී එය මාර්ගයේ පසෙක නවත්වාගෙන සිට ඇති අතර, පිටුපස අසුනේ සිටි තරුණයා කාන්තාව සමග පොරබඳිමින් ඇයට මන්නා පිහියකින් පහර දෙනු පොලිස් නිලධාරින් දැක ඇත. එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් රථයේ දොර විවෘත කිරීමට උත්සාහ ගත්තද ඒ වන විටත් එහි දොරගුලු දමා තිබීම නිසා රථයේ පිටුපස දොර සහ වීදුරු කඩා කාන්තාව බේරාන්ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මුහුණේ සහ අත පයේ තුවාල සහිතව සිටි කාන්තාව පොලිසිය විසින් වහාම කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර, වාහනයේ සිටි සැකකරුවෝ දෙදෙනා ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුහ. පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එම කාන්තාවගේ අනියම් ප්‍රේමවන්තයා බව කියන තැනැත්තකු සහ සිද්ධියට ආධාර අනුබල දුන් ඔහුගේ මිතුරෙකි. ඔවුන් දෙදෙනාම වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනියම් පෙම්වතා බව කියන තැනැත්තා විසිහත් හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු පින්තාරුකරුවකු බව ද පොලිසිය කියයි. මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව මෝදරවාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන තිදරු මවකි.



සිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්වී සිට ඇති ඇය, මෙම සැකකරු සමග වසර එකහමාරකට අධික කාලයක් අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බව පොලිසිය පවසයි.  සිද්ධිය වනවිට මෙම කාන්තාව සිය දරුවකු ද සමග සැකකාර තරුණයාගේ වලස්මුල්ල ප්‍රදේශයේ නිවසේ ජීවත්ව සිට  සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සම්බන්ධයට සැකකාර තරුණයාගේ නිවසේ වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබී නොතිබූ බවත් පොලිසිය සඳහන් කරයි. ඒ හේතුවෙන් එම කාන්තාව තරුණයාට නොදන්වා මීට සති දෙකකට පමණ පෙර එම නිවසෙන් පිටව ගොස් ඇති අතර, ඇය දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාව කරන බවට හෙළිවීමෙන් පසු, ඇය පැහැරගෙන යාමට සැකකරු සැලසුම් කළ ආකාරය ඔහුගේ ප්‍රකාශවලින් හෙළිවී ඇතැයි ද පොලිසිය පවසයි.

පසුව සිය මිතුරකු ද සමග දික්වැල්ල නගරයට ඊයේ (14) උදේ පැමිණි සැකකරු ඇගලුම් කම්හල බලා යමින් සිටි කාන්තාව මෝටර් රථයට බලහත්කාරයෙන් නංවාගෙන ඇතැයි පොලිසිය කියයි. බද්දේගම සිද්ධියේදී මෙම කාන්තාව බේරා ගැනීමට බද්දේගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් (52166) ඉරෝෂාන් සහ පොලිස් කොස්තාපල් (86249) ධනංජය යන නිලධාරින් දෙදෙනා වහා ක්‍රියාත්මක වී ඇති අතර සිද්ධිය පාලනය කිරිම සඳහා පොලිස් සැරයන් ඉරෝෂාන් මහතා අහසට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමත් සමග පොලිසිය තමන්ට ද වෙඩි තබතැයි බියට පත්වූ සැකකරු වාහනයේ පිටුපස අසුනේ සිටියදීම අදාළ කාන්තාව බදාගෙන ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය රථයේ දොර සහ වීදුරු කඩා කාන්තාව බේරාගෙන ඇති අතර, මන්නා පිහි පහරකින් ඒ වනවිටත් කැපුම් තුවාල ලබා සිටි සැකකරු ද රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇත.  මෙම සැකකරු ඉතාමත් සැලසුම් සහගත අන්දමින් මන්නයක් ද බෑගයක දමාගෙන විත්  මෙම කාන්තාව පැහැරගෙන යන්නට ඇත්තේ ඇය ඝාතනය කිරීමේ අරමුණින් බවට පොලිසිය සැක කරයි.

 මෙම කාන්තාව ඇගලුම් සේවිකාවක වන අතර සැකකරුවන් දෙදෙනා පින්තාරු කටයුතුවල නිරත වලස්මුල්ල පදිංචිකරුවෝ වෙති. එම අවස්ථාවේදී සැකකරුවෙකු සන්තකයේ තිබී තියුණු අවියක්ද පොලිස් භාරයට ගෙන කාන්තාව සහ සැකකරුවෙකු ද තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

(ඉන්දිකා රාමනායක)