bike-theft-nabbed

මනුෂ්‍ය ඝාතනයක් කිරීම හා යතුරුපැදි ඇතුළු දේපළ සොරාගැනීම පිළිබඳ අධිකරණ දෙකක විභාගවන නඩුවලින් ඇපපිට පැමිණි සැකකරුවකු නැවතත් යතුරුපැදි දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ සිදුරංගල ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයකු වන අතර, මොහු තදින් හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව පොලිසිය පවසයි. මෙම සැකකරු මින්පෙර කළ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් ඇපපිට නිදහස්ව මේ වනවිට ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයක් බවත්, තත්ත්වය එලෙස තිබියදී ඔහු නැවතත් හොරණ සහ පානදුර දකුණ පොලිස් වසම් දෙකෙහි යතුරුපැදි දෙකක් සොරාගෙන ඇති බවත් පොලිසිය පවසයි. සොරාගන්නා ලද යතුරුපැදි දෙකම පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, එක් යතුරුපැදියක අංක තහඩු ගලවා තිබී ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.