ayoma-rajapaksa-telephone-threat

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය වන අයෝමා රාජපක්ෂ මහත්මියට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයෙකු ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
ඔහු අඛණ්ඩව 27 වතාවක් අයෝමා මහත්මියගේ පුද්ගලික දුරකථන අංකයට කථා කරමින් ‘අපෙන් ගත්ත සල්ලි දීපං‘ යයි තර්ජනාත්මකව බැණ වැදී ඇති බව අනාවරණය විය.
කොළොන්නාව ප්‍රදේශයේ සැලූන් එකක් පවත්වාගෙන යන කරණවෑමියෙකුවූ මෙම පුද්ගලයාගෙන් කිසියම් අයෙකු ලක්ෂ ගණනක ණය මුදලක් ලබාගෙන තිබී ඇති අතර අදාළ ණය ලබාගත් තැනැත්තිය යයි උපකල්පණය කරමින් අනුමාන දුරකථන අංකයකට කථා කරමින් තමා බැණ වැදුණ බව ගනේෂන් ජෙගන් නැමැති මෙම සැකකරු අධිකරණය හමුවේ කියා සිටියේය.


මෙම අංකය තමාගේ ණය හිමිකාරියගේ යයි වැරදීමකින් සිතා සිටි බවත් හිටපු ජනපති බිරියගේ බව දැන සිටියේ නැති බවත් ඔහු අධිකරණයේදී පවසා සිටියේය.

කෙසේ වෙතත් හිටපු ජනපති බිරිය වෙනුවෙන් පැමිණිල්ල යොමු කළ ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බන්ඩාර මහතා අදාළ පුද්ගලයා වරින්වර කථා කරමින් කරදර කරන බව තමා දැනගත් පසු 6 වන ඇමතුමේදී පමණ තමා එම ඇමතුමට උත්තර දුන් බවත් වැරදීමක් සිදුව ඇතිදැයි පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටියා  මෙන්ම මෙම අංකය හිටපු ජනපති බිරිය අයෝමා මහත්මියට අයත් බව පැහැදිලි කර දුන් බවත් පැවසීය.

නමුත් ගනේෂන් ජෙගන් නැමැති මෙම සැකකරු තමාගේ කීම ගණනකට ගත්තේ නැති බවත් මේ අයෝමා නොව තමාගේ ණය හිමිකාරිය බව කියමින් නොනවත්වා ඇමතුම් ලබාගන්නට කටයුතු කළ බවත් පැවසීය.
ඒ අනුව 27 වාරයක් පමණ කරදරකාරී ඇමතුම් ලබාදුන් බැවින් බැරිම තැන මේ ගැන පොලිසියට පැමිණිලි කරන්නට යෙදී ඇත.


 සැප්තැම්බර් 22 වැනිදා අයෝමා රාජපක්ෂ මහත්මියගේ ජංගම දුරකථනයට 19 වතාවක් ද, ඉකුත් 23 වැනිදා 08 වතාවක් ද ඇමතුම් ගෙන ඇත.
සිද්ධිය විමර්ශනයෙන් පසු අත්අඩංගුවට ගත් කරණවෑමියා
තමන්ට වෙනත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් ලැබීමට ඇති බැවින් එය පොලියද සමග ලක්ෂ 10 ක් ලබාගැනීම සදහා දුරකතන අංකය අනුමාන කරමින් මෙම ඇමතුම ලබා ගත් බව අධිකරණය හමුවේ සදහන් කර ඇත.
සිද්ධිය ඊයේ අධිකරණයේදී විභාගවීමෙන් පසු නඩුව ලබන මස 06 දා තෙක් කල් තැබිණී.
සැකකරු පොලිස් ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුන ගනේෂන් ජෙගන් නැමැති කරණවෑමියා ලක්සද සෙවන, සාලමුල්ල, කොළොන්නාව පදිංචිව සිටියේය.