yaldevi-hit-stones

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ යාල් දේවි දුම්රිය මැදිරීයකට ගල්ගසා විදුරුවලට හානි කළ බව කියන පුද්ගලයන් තිදෙනකු සහ එම තිදෙනාට පහරදුන් බව කියන මගියකුද මහව දුම්රිය ස්ථානයේදී පෙරේදා (15) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව මහව මුලස්ථාන පොලිසිය පවසයි. මේ හේතුව මත දුම්රිය පැයක පමණ වේලාවක් ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති බවත් මෙම ප්‍රමාද ගාස්තුව තක්සේරු කර මොවුන් සිවුදෙනාගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තූවේ අණපනත් අනුව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකි බවද එම උසස් නිලධාරියා පෙන්වා දුන්නේය.  තක්සේරු කරන ලද ප්‍රමාද ගාස්තුව සැකකරුවන්ට නුදුරු දිනක දැනුම් දෙන බවත් එම මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් ඔවුන්ට එරෙහිව දෙපාර්තමේන්තුවේ අණපනත් අනුව නීති මගින් කටයුතු කරන බවත් හෙතෙම කීය. පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

යාල්දේවි දුම්රිය පෙරේදා සවස මහව දුම්රිය ස්ථානයේ නතර කළ අවස්ථාවේ බීමතින් සිටියේ යැයි කියන මගීන් තිදෙනකු එහි මැදිරියට ගොඩවී ඇත. අසුනක් සම්බන්ධයෙන් මොවුන් තිදෙනා එහි  සිටි මගීන් කීපදෙනකු සමග ගැටුමක් ඇතිකර ගෙන ඇතැයි පොලිසිය කියයි.

මගීන් කීපදෙනකු මොවුන්ට පහරදී මැදිරියෙන් ඉවතට දමා ඇති  අතර ඔවුන් තිදෙනා ගල් කිහිපයක් අහුලාගෙන තමන්ට පහරදුන් මගීන් වෙත ඒවායින් දමා ගැසු අවස්ථාවේ එම ගල් මැදිරියේ වීදුරුවල වැදී හානි වී ඇති බව පොලිසිය කියයි. ගල් ගැසීමට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව දුම්රිය නිවාස පාරේ පදිංචි 56, 26, 22 වියේ පසුවන තිදෙනෙකි. මොවුන්ට පහරදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගහ, ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි. මහව මූලස්ථාන පොලිසිය සහ දුම්රිය ආරක්ෂක හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-