tuder-weerasinghe-aragalaya

අරගලය සංවිධානය කර තිබූ ස්වරූපය ඉතා වැදගත් වුවද අරගලයට කිසිදු අරමුණක් හෝ විශිෂ්ට අදහසක් නොතිබූ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසීය.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා, "අරගලය නිමාවට පත්වුණා. සෑම සමාජ සංසිද්ධියක් වගේම, අරගලයත් සමාජ සංසිද්ධියක් විදියට සංකීර්ණයි.

මේ තුළ විවිධාකාර විවිධ තරාතිරමේ සමාජ බලවේග මේකට ඇතුළු වුණා. විවිධ දේශපාලන පක්ෂවල වගේම සංවිධානවල. රාජ්‍ය නොවන සංවිධානවල අය හිටියා, විවිධ තානාපති කාර්යාලවල අය මේකේ ඇතුළේ නියෝජනය වුණා. මේක බිහිවෙන්න මූලික වශයෙන් හේතු වුණේ ඇත්ත වශයෙන්ම එම වකවානු තුළ රට ඇතුළේ ඇති වී තිබූ ආර්ථික අර්බුදය. මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි තත්වයක් උදා වෙලා තිබුණා.

ඒක තවත් විදිහකට කියනවා නම් පහළ මට්ටමේ මිනිසුන්ට පරණ විදිහට ජීවත්වෙන්න විදිහක් තිබුණ නැහැ, ඉහළ මට්ටමේ අයට තවදුරටත් පරණ විදිහට රට පාලනය කරගන්න විදිහක් නැති වුණා. ඒ වගේ අර්බුදයක් ඇති වුණා. සාමාන්‍ය අරගලවලදී එළියට බහින අයට අමතරව ඉහළ මධ්‍යම පන්තියේ අය, විවතුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, එමෙන්ම කලාකරුවෝද මේ හැම දෙනෙක්ම මේකට එකතු වුණා. ඒකට ආසන්නම හේතුව තමයි දීර්ඝ කාලයක් විදුලිය කැපීම, ගෑස් පෝළිම, තෙල් පෝලිම්, එතනින් ගියාම පොහොර ප්‍රශ්නය මේ සාධක තමයි මූලික  වශයෙන් බල කළේ මේ ගොල්ලන්ට බහින්න.

ඇත්ත වශයෙන්ම ඒ අය බැස්සේ තමන්ගේ සැබෑ ප්‍රශ්නත් එක්ක. අරගලයට සම්බන්ධ වෙච්ච කට්ටිය අර ප්‍රශ්නත් එක්ක එතනට ආවා. එතන ඒ අයට කන්න බොන්න තිබුණා. ඇත්ත වශයෙන්ම ඒකත් එක්ක දිගටම ගියා. ඒ වගේම ඒකට විදේශීය රටවල සම්බන්ධතාවක් තිබුණා පැහැදිලිව තානාපති කාර්යාල ඔස්සේ. මේක තුළ අභ්‍යන්තර පැත්තට අමතරව මේක තුළ තියෙනවා ගෝලීය පැතිකඩක්. මේ අරගලය ඇතුළෙ තු. දේශපාලනික හා භූ ආර්ථික වුවමනාවන් පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වෙලා හිටිය බලවේග හිටියා.

විශේෂයෙන් බටහිර හා ඇමෙරිකානු බලවේග තිබුණා. රටේ මේ අභත්තර පොදු අරගලය පිළිබඳ කිසිම අරමුණක්, ක්‍රියාවලියක් හෝ විශිෂ්ට අදහසක් තිබුණේ නැහැ අරගලය කොහාටද යන්නේ කියලා. සමාජ විප්ලවයක් වෙනවා නම් අවම වශයෙන් වැදගත් විශිෂ්ට අදහසක් තියෙන්න ඕන්නේ ඕන ඒකත් එක්ක තමයි මිනිස්සු ගොනුවෙන්නේ. මේකේ එහෙම එකක් තිබුණේ නැහැ.

තිබුණෙ පරණ අදහස්, එක එක පුද්ගලයන්ට. දේශපාලනඥයන්ට, රාජ්‍ය නායකයන්ට අපහාස කිරීම්, දූෂණය වංචාව අන්න ඒ වගේ තමයි තිබුණේ. සමස්තයක් ලෙස ගත්තහම රට අභ්‍යන්තරයේ සිදු වෙච්ච ක්‍රියාවලිය ගත්තාම ඒකට වැඩපිළිවෙළක් අරමුණක් ක්‍රියාවලියක් තිබුණ නැහැ. හැබැයි ජාත්‍යන්තර වශයෙන් ගත්තහම භූ දේශපාලනික සහ භූ ආර්ථික වුවමනා ඉෂ්ට කරගැනීම සඳහා උපරිම අන්දමින් ඒගොල්ලො අරගලය පාවිච්චි කලා. නමුත් ඒ ගොල්ලන්ට අවසාන ටිකට යන්න බැරි වුණා. අවසානයේ ඒගොල්ලන්ගේ අභිප්‍රාය වුණේ දේශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම රට අස්ථාවර කරලා, අරාබි වසන්තයෙන් ලිබියාවට ඉරාකයට ඇති වුණා වගේ තත්වයක් ඇති කරලා මේ කලාපය තුළ ඒල්ගොල්ලන්ගෙ අරමුණ ඉෂ්ට කරගැනීමේ පරමාර්ථය තමයි තිබුණේ. මේ අරගලයෙන් සිදුවුණ එකම දේ තමයි තිබුණ පාලන තන්ත්‍රය වෙනස් කිරීම. ඒක වුණා.

එතෙන්ට වෙන පිරිසක් පත් වුණා. හැබැයි ඒ පත් වුණ පිරිස ඒ හිටිය පිරිසටම සියයට අනූනවයක්ම ආසන්නයි. ඒ අයමයි ආවේ. එතකොටත් සිස්ටම් එකේ වෙනසක් වුණේ නැහැ. මුහුණුවල වෙනසක් වුණේ නෑ. ඇත්ත වශයෙන්ම ඒ අතින් ගත්තම අරගලය ඉතා අසාර්ථකයි. මේ අරගලයෙන් වුණේ එකම දෙයයි. අරගලයේ හිටිය කට්ටිය පාවිච්චි කරමින්, ඔවුන්ට නොදැනුවත්වම ඔවුන් පාවිච්චි වුණා ඊට වඩා ගැඹුරු  දේශපාලනික අරමුණක් වෙනුවෙන්. අන්න එතන තමයි අරගලයේ වැදගත්ම ලක්ෂණය” යනුවෙන් කියා සිටියේය.

 (බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)