sumudu-pinthu-dies

ඉකුත් මැයි මස 30 වැනිදා පිටකොටුව බැස්ටියන් මාවතේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ මිනිස් ඝාතනයෙන් ඇරැඹි ‘නාඳුනන තුවක්කුකරුවන්ගේ ඝාතන රැල්ල‘ මේ වන විට 22ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයකදීයි.
එකී 22 වැනි ඝාතන අපරාධය සිදු වෙමින් පාතාලේ තවත් වෙඩිල්ලක් පත්තු විය. ඒ පසුගිය අඟහරුවාදා සවස 4ට පමණය. එම වෙඩිල්ල බිලිගත්තේ සුවිශේෂි චරිතයකි. ඒ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු හිටපු උපසභාපති සහ ප්‍රාදේශීය සභා මන්ත්‍ර සුමුදු රුක්ෂාන් පින්තුය.
සුමුදු රුක්ෂාන් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා සාහසික වෙඩි පහරට ලක්වන්නේ මුල්ලේරියාව බැංකුව හන්දියේදිය. ඒ ඔහුට අයත් වැඩබිමක පිහිටි ව්‍යාපාරික ස්ථානයක රැඳී සිටියදීය.
මෝටර් බයිසිකලයකින් පැමණි දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකරන්නේ අඟහරුවාදා සවස 4ට පමණය.


පිස්තෝලකරුවන් දෙදෙනා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන පිටපිට වෙඩි තබා ඇති බව හෙළිවන්නේ පොලිස් විමර්ශන වලිනි.
ඒ වන විට මාර්ගයේ රැඳී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් අතුරු මාර්ගයක් ඔස්සේ දිව යන්නේ පිස්තෝලකරුවන්ගේ වෙඩි පහරින් බේරී දිවි ගලවා ගැනීම සඳහාය.
එහෙත් පිස්තෝලකරුවකු මන්ත්‍රීවරයා පසුපස හඹාවිත් ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව හෙළිවන්නේ පොලිස් විමර්ශන වලදීය.
මුල්ලේරියාව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ අඟහරුවාදා සවස මේ ඝාතනය සිදුවූ මොහොතේ සිටමය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් සහ අපරාධ පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරින් මේ ඝාතනය ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඝාතකයන් ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමේ අරමුණෙනි.
මන්ත්‍රීවරයා ඝාතනය වූ ස්ථානය අපරාධ පරීක්ෂණාගාර (සොකෝ) නිලධාරින්ගේ පරීක්ෂාවට ද ලක්වන්නේ ඉන් අනතුරුවය. මේ සිද්ධිය දුටු පුද්ගලයන් සොයා ඔවුන්ගෙන් ද තොරතුරු ලබා ගන්නට පොලිස් කණ්ඩායම් කටයුතු යොදා තිබිණි. ඝාතකයන් පැමිණ ඇත්තේ පල්සර් වර්ගයේ මෝටර් බයිසිකලයකිනි. මේ ඝාතනය ගැන තොරතුරු ලබා ගැනීමට පොලිසිය සීසීටීවී දර්ශන ද පරීක්ෂා කළේය. පොහොට්ටු මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට වෙඩි තැබූ පුද්ගලයින් හෝ ඊට ආසන්නම හේතුව සොයා ගැනීම සඳහා පොලිසිය පැති කිහිපයකින් දීර්ඝ විමර්ශනයන් ආරම්භ කර තිබිණි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් පසුගිය දින කීපයක සිට නිහඬ ජීවිතයක් ගතකර ඇති අතර ඔහු ඇතැමුන් සමඟ කතාබහ ද සීමාකර ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත. එසේ ඔහු නිහඬව කල්ගෙවා ඇත්තේ ඔහුගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් නිසාදැයි පොලිසිය දැන් සොයාගෙන යයි.


සුමුදු රුක්ෂාන් කඩුවෙල නගරාධිපති බුද්ධික ජයලාල් ගේ ඥාතියෙක් වන අතර මුල්ලේරියාව ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකි.
ඊට අමතරව ඔහු පාතාල නායකයකු වූ 'කරාටේ ධම්මිකගේ' ද ඥාතියෙකි. අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ ගෝලයකු වන 'ජිල්ලා'ගෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට මරණ තර්ජන එල්ලවී තිබුණු බවට මේ වන විට තොරතුරු හෙළිවී තිබේ. ජිල්ලා වරක් සුමුදු රුක්ෂාන්ට තර්ජනය කර ඇති බවද හෙළිවී ඇත. පොලිසිය ඒ ගැන ද තොරතුරු සොයා ගෙන යයි.
කොලොන්නාව හෙන්රි ඕල්කට් මහා විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ සුමුදු රුක්ෂාන් අඹතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ප්‍රාදේශීය සභාවට පළමුවරට ඉදිරිපත් වී උපසභාපති ධුරය ද හෙබවූ අයෙකි. මෙවර ඔහු ප්‍රාදේශීය සභාවට තේරී පත්ව ඇත්තේ දෙවැනි වරටය. ඒ වැඩිම මනාප ප්‍රතිශතයකිනි.

කොටිකාවත්ත මුල්ලේරියාව නාගරික මන්ත්‍රි වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසකට සම්බන්ධ බව කියන තුවාන් ශිරාන් නමැති කුලී මිනීමරුවා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් මිදී පළායෑමට උත්සාහ කිරීමේදී කඩුවල ප්‍රදේශයේ ගල්වළකින් පහළට ඇදවැටී පෙරේදා (08දා) රාත්‍රී මියගොස් ඇති බව පොලිසිය කීවේය.
පාතාල නායකයකුව සිටි අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප්‍රබලයෙකු වූ තුවාන් ශිරාන්  35 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පාතාල ප්‍රබලයා මේ වනවිට අංගොඩ ලොක්කාගේ කල්ලියේ වත්මන් නායකයා බව කියන ජිල්ලා සමග එක්ව කටයුතු කරන බව විමර්ශනවලින් හෙළි වී ඇත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමදු රුක්‍ෂාන් පිංතු මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදීය.



එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ විවිධ ඝාතන සඳහා යොදාගත් අවි ආයුධ කීපයක් කඩුවෙල ප්‍රදේශයේ ගල්වළක සඟවා තිබෙන බව මොහු පවසා ඇත.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මොහු එම ගල්වළට රැගෙන ගොස් ඇති අතර එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු සමග පොර බදා මෙම පාතාල ප්‍රබලයා පලායෑමට උත්සහ කර තිබේ.

එහිදී ගල්වළ ඉහළ ප්‍රදේශයේ සිට මොහු පහළට ඇද වැටී ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇත.

මේ වනවිට ඉන්දියාවේ සැඟවී සිටින ජිල්ලා නමැති පාතාල ප්‍රබලයාගේ නියෝග මත නාගරික මන්ත්‍රීවරයා ඝාතනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ජිල්ලා නමැති පාතාල නායකයාට නාගරික මන්ත්‍රිවරයා මීට ටික කලකට පෙර අඹතලේ හන්දියේදී පහරදී තිබිණි. එම සිද්ධිය සහ තවත් හේතු කීපයක් මුල්කරගෙන ඇති වූ ආරවුල් මත තුවාන් ශිරාන්ට මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට ජිලේ විසින් නියෝග කර තිබූ බව හෙළිවී තිබේ.

මන්ත්‍රීවරයා ඝාතනයට අමතරව මොහු 2007 වසරේදී වැල්ලම්පිටියේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීම, 2008 වර්ෂයේදී වැල්ලම්පිටියේ සහ කොළොන්නාවේදී පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමීම, 2019 වර්ෂයේදී සහ 2016 වර්ෂයේදී වැල්ලම්පිටිය සහ මෝදර ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධව බව හෙළි වී ඇත.

ඊට අමතරව හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී සිටි මෙම පාතාල ප්‍රබලයා තවත් අපරාධ ගණනාවකට සම්බ්නධ බවද හෙළිවී ඇත.


 කොටිකාවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට පැමිණි සැකකරුවන්ට කුලී පදනම මත රැදී සිටීමට අවසර ලබා දුන් නිවෙසේ හිමිකරුද අද (11) අත්අඩංගුවට ගෙන තිබෙයි. ඊයේ ඔහු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය. සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 30ක්ද සොයාගෙන තිබෙයි. 23 හැවිරිදි සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

පොලිස් විශේෂ කාර්ය බළකායේ අනදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.