school-80-percent

සතියේ දින පහම පාසල් පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ ඊයේ (15)දා පාසල් සිසුන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් පාසලට පැමිණ සිටි බවත්, මෙම තත්වය ඉහළ දමා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. පවතින ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන් විදුහල්පතිවරුන් දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත්, ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා පාසල්වලට සිසුන් පැමිණීම අඩු වී තිබෙන බවට නිර්ෂණය වන බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝසප් ස්ටලින් මහතා පැවසීය.



සමහර ගුරුවරුන්ට තම මාසික වැටුපෙන් 1/3ක් පමණ ප්‍රවාහන වියදම් වශයෙන් වියදම් කිරීමට සිදුව තිඛෙන බවත්, ඇතැම් දෙමවුපියන් තම දරුවන් පාසල් යැවීම සඳහා රුපියල් 600කට වැඩි මුදලක් දෛනිකව වියදම් කිර්මට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. මේ නිසා පාසල් වෑන් රථවලට සහන ලබාදී පාසල් ළමයින්ගෙන් අය කරන ගාස්තුව අඩු කිරීමට හා ලංගම බස් රථ යොදවා අඩු මුදලට පාසල් ළමයින් ප්‍රවාහනය කිර්මට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් හා රජයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා තිබෙන බවද ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ අනුව අඩු මුදලට පාසල් ළමයින් ප්‍රවාහනය කිර්ම සඳහා වැඩපිළිවෙළවල් සකස් කරන බවට බලධාරීන් ප්‍රකාශ කළත්, එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් ස්ථිර වශයෙන් ක්‍රියාත්මක නොවන බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේම ඊයේ දිනයේදී පාසල් සිසුන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් පාසල්වලට පැමිණ සිටියත්, පවතින තත්වය තුළ ඉදිරි දිනවල කොතරම් සිසුන් ප්‍රමාණයක් පාසල් වෙත පැමිණිය හැකිදැයි කිව නොහැකි බවත්, මේ නිසා පාසල් සිසුන්ට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු  බවත් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
(ඉන්දික හේවාවිතාරන)